සමු (නො) ගත් යශෝ ගී රාවය
 
  සමු (නො) ගත් යශෝ ගී රාවය

 සක්වලටම ඇසෙන්නට ගීත ගැයූ ඇය සක්වළම නිහඬ කොට යන්නට ගොස්ය. ලාංකේය ගී කෙතට සරු අස්වැන්න පුදා ගබඩා සියල්ල සිය ගීත ස්වරයෙන් පුරවා කිසිත් නොගෙනම ඇය නික්ම ගියේ සුදුවත පමණක්ම සිය ගත දවටාගෙනය. සිය මධුරතර ගීත ස්වරයෙන් දැයක් සනහා, පෙරදා මුළු දැයක්ම හඬවා අවසන් ගමනට නික්මුණු ඈ නන්දා මාලිනී නම් වන්නීය.

මෙරට ගීත ඉතිහාසයේ ඈට සමකරන්නට හෝ ඇගේ මෙහෙවර ඉටුකරන්නට සමත් තවත් කිසිවකු නොමැති බව නම් සක් සුදක් සේම පැහැදිලිය. නන්දා මාලිනීලා සිටියේ එකම එක්අයෙකි. ඒ එකම කෙනා ඉටුකළ මෙහෙය අකුරු කරන්නට කිසිවකුටත් අකුරු මදි බව මගේ හැඟීමය. ගායිකාවක, කලාකාරිනියක වශයෙන් ඈ සතු පැවති සුවිශේෂි හැකියාවන් ගැන පුරා දශක ගණනාවක් මුළුල්ලේ මෙරට විද්වත් පිරිස් අතින් ලියවුණු. ඇගයුණු අවස්ථා ඉසේ් කෙස් ගණනටත් වැඩිය. එකී ගායන කෞශල්‍ය සේම , අප විසින් අවධාරණයෙන් පැසසිය යුතු සහ අධ්‍යයනය කළ යුතු දේ වන්නේ ඈ සතු වූ ස්ථිර ප්‍රතිපත්ති සහ ඇගේ ජීවන ගමන්මගේ ඈ කිසිදා අභියෝගයකට ලක් නොකර ගනිමින්, මිය යන මොහොත දක්වා පවත්වාගෙන ආ සෘජු ජීවන ප්‍රතිපත්තීන්ය. උත්පත්තියෙන් තමන්ට ලැබුණු අපූරු සුගායනීය හඬ ස්වරය ඈ භාවිතා කළේ දැයක් සනසවන්නටය. දැයක් පුබුදු කරන්නටය. ඒ හඬේ පැවති මන මෝහනීය පෞරුෂය සේම, සුගායනීය බව මෙරට සුවහසක් ජනහදවත් තුළට ප්‍රේමයේ ආශ්චර්ය කැඳවාගෙන ආවේය. සත්‍ය ප්‍රේමයේ ආදරණීය බව, ප්‍රේමය නොහඳුනන්නන්ට ද කියා දුන්නේය. ඒ විතරක්ද? ඒ හඬ විටෙක අයුක්තියට අසාධාරණයට එරෙහිව නැඟුණු මහා අවියක් විය. මුළු රටකම සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික විපර්යාසයක් කරන්නට ඇගේ හඬට වූ ආකර්ෂණීය බලවේගය සැබවින්ම පුදුම සහගතය.

මේ ආකර්ෂණීය හඬ පෞරුෂයේ හිමිකාරිණිය වූ නන්දා මාලිනිය මෙලොව ජන්ම ලාභය ලබනුයේ 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම ලෙව්වන්දූවේදීය. මවුපියන් සමඟ කොළඹට සංක්‍රමණය වී කොළඹ කොටහේනේ පදිංචි වූ ඔවුන් දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින් ජීවිතයට මුහුණ දුන්නන් විය. කුඩා නන්දා මාලිනී සිප්සතර හදාරනුයේ කොටහේනේ ගුණානන්ද විද්‍යාලයෙනි. කුඩා කාලයේ පටන්ම ගීත ගායනයට, කවි ගායනයට දැක් වූ දක්ෂතාවය නිසාම, පාසලේ කැපී පෙනෙන සිසුවියක වීමට නන්දාට හැකි විණ. ඇගේ ගායනයේ සුමධුර බව, දුටු පාසලේ ගුරුවරියක වූ මාග්‍රට් මැතිනිය කුඩා නන්දා මාලිනියට ඒ මගේ ඉදිරියට යන්නට පාර පෙන්නුවාය. නන්දා මාලිනිය තම ජීවිතයේ ළමා අවධිය ගැන සිහිපත් කළ බොහෝ අවස්ථාවන් වලදී තමන්ට ගුවන් විදුලියට එන්නට පාර පෙන්වූ මාග්‍රට් ගුරුතුමිය පිළිබඳ නොයෙක්වර සඳහන් කළාය.

කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටියට ඇය මුලින්ම ගායනා කළේ අසෝක කොළඹගේ විසින් රචනා කරන ලද ‘බුදු සාදු බුදු සාදු මම සමන් මලක් වෙන්නම් නම් ගීතයයි. එදා මෙදා තුර මෙකී ගීතය මෙරට සුවහසක් ජනහදවත් වැලඳගත් අයුරු පිළිබඳ අප අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ළමා පිටියේ ගායිකාවක ලෙසින් අභිසෙස් ලබමින් සිටි ඇයට 1962 දී ගායන දිවියේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන සුවිශේෂී අවස්ථාවකට මඟ සැලසිණි. මෙරට නිර්මාණය වූ ප්‍රථම 35 මි.මි වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව ‘ චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරිමට ඇයට අවස්ථාව සැලසීම මෙම විශේෂ අවස්ථාවයි. පණ්ඩිත් අමරදේවයන් ගේ මැදිහත් වීමෙන් ඇයට මෙම අවස්ථාව සැලසිණ. පණ්ඩිත් අමරදේවයන් සංගීතය නිර්මාණය කළ ප්‍රථම චිත්‍රපටය වූ ‘රන්මුතු දුවේ’ ගලන ගඟකි ජීවිතේ’ නම් ගීතය ඇය ගායනා කරනුයේ නාරද දිසාසේකර සමඟිනි. ඇය බොහෝ විට සඳහන් කර තිබුූ පරිදි එවකට ඇය පටිගත කිරීමේ මයික්‍රෆෝනයට පවා උස නැති බැවින් ලී පෙට්ටියක් මත නැඟී එය ගායනා කර ඇත. ඇගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයට සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙසින් සරසවිය සම්මානය දිනාගත් අතර, සරසවිය සම්මානයක් හිමි වූ ලංකාවේ ප්‍රථම ගායිකාව බවට ද පත්වූවාය.

මෙරට චිත්‍රපට පසුබිම් ගී ගායනයට නන්දා මාලිනිය ප්‍රවිෂ්ට වනුයේ 1959 වර්ෂයේදී ‘පුරුෂ රත්නය’ චිත්‍රපටය වෙනුවෙන් සිය හඬ මුසු කරමිනි. ඇය ළමා ගායිකාවක් වශයෙන් මෙකී චිත්‍රපටයේ අත්වැල් ගායනයට එක් වනුයේ් ඒ වනවිට මෙරට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ නම් දෑරු ජී.එස්. බී. රාණි පෙරේරා හා ඉන්ද්‍රානි විජයබණ්ඩාර සමඟය.

කෙසේ වුවද, රන්මුතු දූව චිත්‍රපටයෙන් ඇය හොඳම ගායිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වන විට මෙරට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ බලකණු ත්‍රිත්වයක්ම එහි ආධිපත්‍යය පතුරවමින් සිටියේය. ඒ ලතා වල්පොල, සුජාතා අත්තනායක හා ඇන්ජලින් ගුණතිලකය. ඒ සමඟම ඉන්දියානු ගායක ගායිකාවන්ගේ දායකත්වය ද ඊට ලැබෙමින් පැවතිණ. මේ සියල්ල අතරතුර මාලිනිය සිය අනන්‍යතාවය දේශිය සිනමා පසුබිම් සංගීතය තුළ තහවුරු කර ගත්තේය. එවැනි අනන්‍යතාවයක් තහවුරු කර ගැනීම පැවතුණ වාතාවරණය තුළ පහසු කාර්යයක් වූයේ නැත. එහෙත් නන්දා මාලිනිය එය පහසුවෙන්ම ළඟා කර ගත්තේ් ඈ සතු වූ අසාමාන්‍ය හැකියාව නිසාමය. රන්මුතු දුවෙන් පසු පටාචාර, සාරවිට, වෙසතුරු සිරිත, මනමාලයෝ, සැඩොල් කඳුළු, රෑන ගිරව්, දහසක් සිතුවිලි, ආදරවන්තයෝ, නාරිලතා, හතර පෙරළිය, මී මැස්සෝ, බිනරමලී. හන්තානේ කතාව බක්මහ දීගේ, පේනව නේද?, සීයේ නෝට්ටුව, සමනල කුමරියේ වැනි චිත්‍රපට රැසකට ගී ගැයුවාය. මේ අතරින් ිසිවු වතාවකදීම ඇයට හොඳම ගායිකාවට හිමි සම්මානය හිමි වුවාය. ඒ යුගයේ සිනමාවට පිවිසි බොහෝ කතා නායිකාවන් වෙනුවෙන් ඇගේ හඬ රිදී තිරයේ නින්නාද වූවාය. සන්ධ්‍යා කුමරී ශෝබනී අමරසිංහ, විජිත මල්ලිකා, මාලිනි ෆොන්සේකා, අනුලා කරුණතිලක, ස්වර්ණා කහවිට, ස්වර්ණා මල්ලවාරච්චි, අයිරංගනී සේරසිංහ, ශ්‍රියාණි අමරසේන ඇතුළු පිරිසක් ඒ අතර විණ.

නන්දා මාලිනිය ඉන්පසු සාරවිට චිත්‍රපටයේ (1966) මේ සිංහල අපගේ රටයි, සැඩොල් කඳුළු (1968) චිත්‍රපටයේ් ‘දස මස කුස දරා, ආදරවන්තයෝ’ චිත්‍රපටයේ (1969) ‘පුංචි පිංචි පුංචි පැංචි, මොණරතැන්න (1980) චිත්‍රපටයේ ‘හඳ හාවුන් හඳේ’, සිරිබෝ අයියා චිත්‍රපටය (1980) කවි ගායනා, වජිරා (1982) චිත්‍රපටයේ දෙනෝදාහක් නුවන් අතරේ, යස ඉසුරු (1983) චිත්‍රපටයේ ‘අම්මාවරුනේ, පෙම් රජ දහන (1991) චිත්‍රපටයේ අහසින් බසින්, අඹු සැමියෝ (1993) චිත්‍රපටයේ ‘ඉවුරු බිඳුණ ගං තලාව, සුදු සෙවණැලි (2003) චිත්‍රපටයේ ‘වැලපෙව තව රෑසියනේ’, ඉරැස්මා චිත්‍රපටයේ (2004) උදේ හිරු හඳක් යන චිත්‍රපට ගීත උදෙසා ඇය හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන දිනා ගත්තාය.

චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයෙන් පරිබාහිරව ඇය විසින් ගායනා කරන ලද, ගුවන් විදුලි ගීත, සරල ගීත, කැසට් ගීත, සංයුක්ත තැටි ළමා ගීත, ප්‍රමාණය අති විශාලය. මෙරට මුල්වරට ද්වි පුද්ගල ප්‍රංසගයක් පැවැත් වූ මුල්ම ගායිකාව වශයෙන් ද ඉතිහාසයට එක් වෙයි. ඒ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය පවත්මිනි. ‘සත්‍යයේ ගීතය නමින් මෙරට මුල් වරට ඒක පුද්ගල ප්‍රසංගයක් ඉදිරිපස කළ මුල්ම ගායිකාව වනුයේද ඇයයි.

ගුවන් විදුලි මහා ගෙදරින් තම ගීත චාරිකාව ආරම්භ කළ ඇය එහි ළමා පිටියට අමරණීය ළමා ගී රැසක් තිළිණ කළ අතර, ඒ ශ්‍රේණියේ ගායිකාවක වශයෙන් සරල සුභාවිත ගීත රැසක් එක් කළ ගායිකාවක වූවාය. එහි හැරවුම් ලක්ෂ්‍යය ලෙසින් අපේ මතකයට එනුයේ ‘සකුරා මල් පිපිලා හරි පුදුමයි. ගීතයයි. එය මෙරට බොහෝ ගීත විචාරකයන්ගේද මතයයි. නන්දා මාලිනි ගායනා කළ ‘කරදර පොදි බැද සැඳෑ කළුවර, බුදු කරුණා දෑස තෙමී, සදා සොඳුරු අඹ සෙවණේ, සුමුදු සුව දෙන සිහින යහනේ, ඔබට මතක නෑ ආදී ගීත ගුවන් විදුලියේ ඇය ගැයූ මුල් අවදියේ රමණීය ගීත අතරට ඇතුළත් වේ. එසේම මෙරට රසික ශ්‍රාවක සිත් වසඟ කළ සරල ගී වැඩසටහන් සඳහා ඇය ගායනා කළ ‘බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී, හදවිල කලඹන පෙම් ජල රේඛා, පිපුණු මල් රුව එමල දනීදෝ, මිහි මඬලේ අඳුරු කුසේ, මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි වැනි ගීත අදත්, මේ මොහොතේ ශ්‍රාවක සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු කරන බව සැබැවකිි.

ඇය මෙරට ජන විඥාණයේ හදවත ඉතා සුමුදු ලෙස ස්පර්ශ කළ ගායිකාවකි. ඒ හරහා පේ‍්‍රමය, ආදරය, සෙනෙහෙස, වැනි සියුම් රොමාන්තික හැඟීම් සේම, දේශාභිමානය, විකල්ප දේශපාලන සිතුවිලි අසාධාරණයට එරෙහි වීම් ඇතුළු ඉතා දැඩි සංකල්ප පවා තම ගායනය හරහා ශ්‍රාවක සිතට ඇතුළු කරමින් පෙළහර පෑ හිතුවක්කාරියකි. මිය යන මොහොත දක්වාම තම සෘජු ප්‍රතිපත්තීන් කිසිදු රජයකට හෝ, දේශපාලනඥයකුට හෝ, ව්‍යාපාරිකයකුට හෝ පාවා නොදෙන්නට තරම් එඩිතර, නිර්භය සිතුවිලි වලින් පරිපූර්ණ ගැහැනියක වූවාය.

ගායිකාවකගෙන් වියුක්තව සාමාන්‍ය සරල ගැහැනියකගේ තැන් සිට ඇය දෙස බැලූ කළ ඇය තරම් සරල ගැහැනියක තවත් වේදැයි සිතන්නට කාරණා ඇගේ ජීවිතයේ ඕනෑ තරම්ය. කුඩා කළ සිඟිති දියණියකගේ සිට ජිවන බර උසුලමින් ජීවිතය ජය ගන්නට අනුපමේය කැප කිරිම් කළ ඇය තම මව්පියන්ට දයාබර දියණියක වූවා සේම, පසු කලෙක බිරිඳක මවක ලෙසින් ද සිය යුතුකම් ඉටුකළ ගැහැනියක වූවාය. විවාහය තුළ ඇය තනි ගැහැනියක ලෙසින් හුදකලා වූවද ආදරය, පේ‍්‍රමය ඇයව කිසිදා හුදකලා කරන්නට නැත. පේ‍්‍රමණීය දරුවන් දෙදෙනෙකු ඈ නමින් මෙලොවට දායාද කරමින් මවු පදවියේ උත්තරිතර කිරුළ ද තම හිස පලඳවා ගත්තේ මහත් වූ ගෞරව බහුමානයෙනි. තම දරුවන් දෙදෙනාට හා සමානවම ආදරය පාමින් මෙරට සුවහසක් දුවා දරුවන් වෙනුවෙන් කාලාන්තරයක් පුරා සංගීත ආශ්‍රමය හරහා ඇය සංගීත ඥානය බෙදා දුන්නාය.

මේ සියලු ක්‍රියාකාරකම් සමඟ ජීවන ගීතය විවිධ හැල හැප්පිලි දුක් සේ සුසුම්, සතුටු සිනා මැද ගෙවා දැමූ ඇය පසුගිය සන්ධ්‍යා භාගයේ සියල්ල හැරදමා යන්නට ගියාය.

ගී අසපුව හැර දමා
කෙවිලිය නික්ම ගොස්ය…
එහෙත්
ඔබයි රම්‍ය සඳකිරණ
ඝන අන්ධකාරයේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ…

එතැනට එන්නට කිසිවකුට නොහැකියි..

පිටපත : හේමාලි විජේරත්න

 
 
 
 

 

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4