තම පෞද්ගලිකත්වය හෙළි කිරීමට මැළි වූ වහීඩා
 
තම පෞද්ගලිකත්වය හෙළි කිරීමට මැළි වූ වහීඩා
ඉන්දීය සිනමාවේ (බොලිවුඩ්) රිදී තිරයේ අමරණීය මතකයන් රැසක් ඉතිරි කළ කීර්තිමත් සම්මානනීය රංගන ශිල්පිනියක්,සමාජ සේවිකාවක්,නර්තන ශිල්පිනියක් සහ සංස්කෘතික උරුමයන් සුරැකීමට කැපවූ කෙනෙකි “වහීදා රෙහ්මාන්”.ඇය 1950 දශකයේ අග භාගයේ සහ 60 දශකයේ හින්දි සිනමාවේ වඩාත්ම ඉල්ලුමක් තිබූ රංගන ශිල්පිනියක් ලෙස කැපී පෙනුණි.ඉන්දියානු සිනමාවට දැක්වූ දැවැන්ත දායකත්වය වෙනුවෙන් ඉන්දීය රජයේ ඉහළම සිවිල් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
 
වහීදා රෙහ්මාන් 1938 පෙබරවාරි 3 වන දින තමිල්නාඩුවේ චෙන්ගල්පට්ටු හි සාම්ප්‍රදායික දෙමළ සහ උර්දු භාෂා කතා කරන මුස්ලිම් පවුලක උපත ලැබුවාය. ඇයගේ මව මුම්තාස් බෙගම් වූ අතර පියා මොහොමඩ් අබ්දුර් රෙහ්මාන් වේ. පවුලේ දියණියන් සිව්දෙනාගෙන් බාලම තැනැත්තිය වූවාය.ඇයට ෂහීදා මලික්,සයීදා රෙහ්මාන්,සාහිදා නමින් සොයුරියන් විය.ඇය අධ්‍යාපනය ලැබුවේ ඉන්දියාවේ විශාඛාපට්නම් හි පිහිටි ශාන්ත ජෝසප් කන්‍යාරාමයෙන් සහ හයිද්‍රාබාද්හි පිහිටි සිකන්දරාබාද් රජයේ පාසලෙනි.
 
කුඩා කල සිටම වහීදා සහ ඇයගේ සොහොයුරිය වන සයීදා විශේෂයෙන්ම චෙන්නායි හිදී සම්භාව්‍ය ඉන්දීය නර්තන කලාවක් වන භරතනාට්‍යම් කලාව පිළිබඳ පුහුණුව ලැබුවාය.සයීදා තබ්ලා වාදනය පිළිබඳවද පුහුණුව ලබා ඇති අතර මුම්බායි හි ශාස්ත්‍රීය නර්තන ශිල්පිනියක ලෙසද දස්කම් දක්වා ඇත.
වෘත්තීය ජීවිතයේ ආරම්භය…
ඇය මුලින් රඟපෑවේ ‘ජයසිම්හ’ (1955) සහ ‘රෝජුලු මරායි’ (1955) යන තෙළිඟු සිනමාපට සහ ‘කලම් මාරි පොචු’ හා අලිබභාවුම් නර්පතු තිරුඩර්ගලුම් (1956) යන දමිළ සිනමාපටයි. මෙම චිත්‍රපට අතිශය සාර්ථක වූ අතර මේ හරහා ඇය ජනප්‍රිය නිළියක්, නර්තන ශිල්පිනියක් පමණක් වූවා මිස ප්‍රධාන වීරවරිය නොවේ.
කෙසේ වෙතත්, දකුණු ඉන්දියාවේ ඇයට සැබෑ පිළිගැනීමක් හිමිකර දුන්නේ ‘රෝජුලු මරායි’ චිත්‍රපටයේ අන්තර්ගත “එරුවාකා සාගරොරන්නෝ චින්නන්නා” නම් ගීතයයි. ‘රෝජුලු මරායි’ චිත්‍රපටයේ සැමරීම් උත්සවයට සහභාගී වූ ගුරු දත්ට ඇයව මුණගැසුණි.ඉන්පසු ඔහුගේ ‘සී.අයි.ඩී.’ චිත්‍රපටයට ඇයව තෝරා ගත්තේය.එය දෙව් ආනන්ද් සමඟ ඇය රඟපෑ පළමු හින්දි සිනමාපටයයි. ඇයගේ වඩාත්ම ප්‍රිය නළුවා “දෙව්” විය. ඔහු සමඟ චිත්‍රපටයක් කිරීමට යාමේදී ඇය තුළ උද්යෝගයක් සහ චකිතයක් ඇති විය. ඇය රූපගත කිරිම්වල පළමු දිනයේම ඔහුට ‘දේව් සාබ් (දෙව් මහත්තයා)’ යැයි කතා කළ විට, ඔහු හැරී ‘නෑ නෑ, මට දේව් කියා කතා කරන්න’ යැයි පවසා තිබේ.
 
එහි ප්‍රතිඵලය වූයේ හින්දි සිනමාවේ සිදුවූ අතිශය විශිෂ්ටතම රංගනයන් බිහිවීමයි. ‘කාමිනී’ නම් අභිරහස් කාන්තාවකගේ චරිතය නිරූපණය කරමින් ඇය මුළු චිත්‍රපටය තුළ කුතුහලයක් එක් කළ අතර, එය ඇයගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම ආකර්ෂණීය සහ අමරණීය චරිත නිරූපණයන්ගෙන් එකක් ලෙස අදටත් සැලකේ.
ඒවා නම් සී.අයි.ඩී. (1956), සොල්වා සාල් (1958), කාලා බසාර් (1960), බාත් ඒක් රාත් කි (1962) සහ ගයිඩ් (1965) ය.එයින් රූප් කි රාණි චොරොන් කා රාජා (1961) සහ ප්‍රේම් පුජාරි (1970) යන සිනමාපට අසාර්ථක විය.
ඇයගේ හොඳම යෙහෙළිය අභාවප්‍රාප්ත නිළි නන්දා කර්නාටකි වන අතර, ඔවුන් කාලා බසාර් (1960) චිත්‍රපටයේ එකට රඟපා ඇත.ඔවුන් දෙදෙනාම ආකර්ෂණීය චරිත කිරීමට උත්සාහ කළ නමුත් ඔවුන්ගේ පෞරුෂයන්ට සමීප චරිත රඟපෑමට සුදුසු බව ඉක්මනින්ම වැටහී තිබුණා.
“ෆුල් මූන්” සිනමාපටයෙහි රංගනයෙහි යෙදෙන විට ඇය ගුරු දත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක පැටලී සිටි අතර, එම සම්බන්ධතාවය දත්ගේ විවාහ ජීවිතය බිඳ වැටීමට හේතු විය.ගුරුගේ විවාහ ජීවිතය තුළ ඒ වන විටත් ගැටලු පැවතුණි.
අස්ථාවර විවාහ ජීවිතය සහ මූල්‍ය ගැටලු හේතුවෙන් ගුරු දත් මත්පැන්වලට ඇබ්බැහි වූවෙකු බවට පත් විය. ඔහු මත්පැන් භාවිතයට පෙලඹීමත් ඔහුට ඇති වූ දැඩි කාංසාව සහ මානසික අවපීඩන තත්ත්වයත් හේතුවෙන් වහීදා ද ඔහුගෙන් ඈත් වූ බව එකල වාර්තා විය. 1964 ඔක්තෝබර් 10 වැනි දින රාත්‍රියේ, මත්පැන් පානය කිරීමෙන් පසු ඔහු නිදි පෙති අධි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් මිය ගිය බව වාර්තා විය. වහීදාගෙන් වෙන්වීමෙන් පසු ගුරු දත් සියදිවි නසාගත් බව බොහෝ ප්‍රකාශනවල සඳහන් විය. කෙසේ වෙතත්, පසුකාලීන සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ සොහොයුරිය වන ලලිතා ලජ්මි හෙළි කළේ ගුරු දත්ගේ මරණයට වහීදා කිසිසේත්ම හේතු නොවූ බවයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ වෘත්තීයමය වශයෙන් ගත් කල, ඔහු මිය යාමට බොහෝ කලකට පෙර සිටම වහීදා සහ ඔහු අතර පැවති සම්බන්ධය දුරස් වී තිබු බවයි.
 
වහීදා සහ ගුරු දත් අතර පැවති සම්බන්ධතාවය බොහෝ දෙනාගේ සිත් තුළ විවිධ ප්‍රශ්න මතු කළේය. ඇතැමුන් පැවසුවේ ඇය ඔහුගේ නිර්මාණාත්මක ආභාසය වූ බවයි. තවත් සමහරුන් හෙළි කළේ ඔහු ඇය සමඟ දැඩි ලෙස පෙමින් බැඳී සිටි බවත්, ඔහුගේ විවාහ ජීවිතය බිඳ වැටීමට එය ප්‍රධාන හේතුව වූ බවත්ය. මීට කලකට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවකදී වහීදා විසින්ම ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ ඔවුන්ගේ ආදරය පරිපූර්ණ එකක් නොවූවද, එය සැබෑ ආදරයක් බවයි.
 
කලාව කෙරෙහි ඔවුන් තුළ තිබූ ආදරය සුන්දර සම්බන්ධතාවයකට මග පෑදූ ආදරයක් බවට පත් වූ බව ඇය පවසා තිබුණා. සිය ගුරුතුමා කෙරෙහි ඇය දැක්වූ භක්තිය හෝ සිනමාව කෙරෙහි ඔවුන් තුළ තිබූ දැඩි ඇල්ම – කෙසේ වුවද, වහීදා සහ ගුරු අතර පැවති ඒ අමරණීය ආදරය ඔවුන් එක්ව නිර්මාණය කළ චිත්‍රපට තුළින් අඛණ්ඩව ජීවමාන වේ.
1974 දී, ‘ෂගූන්’ (1964) චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ කමල්ජිත් සිං යන වේදිකා නාමයෙන් හැදින්වූ ශෂී රේඛි සමඟ ඇය විවාහ වූවාය. ඔහු ව්‍යාපාරිකයෙකු වූ අතර මීට පෙර චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසීමට උත්සාහ දරා පසුව බැංගලෝරය වෙත පදිංචියට ගොස් සිටි කෙනෙකි.
 
විවාහයෙන් පසු ඇය රංගන කටයුතු සීමා කළ අතර, ඒ වෙනුවට තමන්ගේම ව්‍යාපාරයක් ලෙස උදෑසන ආහාර ධාන්‍ය වර්ගයක් අලෙවි කිරීමටත්, බැංගලෝරයේ පිහිටි ගොවිපොළ නිවසක සතුටින් ජීවත් වීමටත් වැඩි කැමැත්තක් දැක්වූවාය. සොහේල් රේඛි නමින් පුතෙක් ද සහ කාෂ්වි රේඛි නමින් දියණියක් ද ඔවුන්ට සිටී.ඉන්පසුව ඇය සහාය චරිත නිරූපණයට යොමු වූ අතර, 1976 සිට 1994 දක්වා කාලය තුළ සහාය නිළියක ලෙස චිත්‍රපට 24කට දායක වූවාය. 2000 වසරේදී තම සැමියාගේ අභාවයෙන් පසුව, ඇය නැවත මුම්බායි හි බාන්ද්‍රා වෙත පදිංචියට ගිය අතර තවමත් එහි ජීවත් වෙයි. ඔහුගේ අභාවයෙන් පසුව නැවතත් චිත්‍රපට 9ක වැඩිහිටි කාන්තා චරිත නිරූපණය කරමින් රංගනයට පිවිසියාය.
වහීදා තම පෞද්ගලිකත්වය අගය කරන තැනැත්තියකි. ඇය තම පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්නේ ඉතා කලාතුරකිනි. තම පෞද්ගලික ජීවිතය පෞද්ගලිකවම පැවතිය යුතු බවත්, එය සැම දෙනාම දැනගත යුතු දෙයක් නොවන බවත් ඇය විශ්වාස කරයි.
 
හැඟීම්බර හා තීව්‍ර බවක් පෙන්නුම් කරන දුඹුරු පැහැති දෑස් තිබීමත් ඉහළට නෙරා ගිය කම්මුල් තිබීමත් ඇයගේ ශරීර ලක්ෂණ වේ.ඊට අමතරව ප්‍රමුඛ පෙළේ නිළියක ලෙස කටයුතු කළ ඇයගේ තරුණ වියේදී දක්නට ලැබුණු අලංකාර හා විනීත පෞරුෂයත් දැකිය හැකි වේ.
සිය සමීප මිතුරෙකු මෙන්ම නළුවෙකු ද වූ දේව් ආනන්ද් සමඟ නිතරම යුගල වශයෙන් රංගනයේ යෙදීමත් එකල දැකගන්නට ලැබිණි.
ඇයගේ වෘත්තීය ජීවිතය දශක පහක් පුරා විහිදෙන අතර චිත්‍රපට 90 කට වඩා සම්බන්ධ විය. ඒ අනුව ඇයට ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක්, පද්ම ශ්‍රී (1972), පද්ම භූෂණ (2011) සහ දාදාසහේබ් ෆාල්කේ සම්මානය (2023) ඇතුළු බොහෝ සම්මාන ලැබී ඇත.ඇය ගයිඩ් (1965) හි රංගනය වෙනුවෙන් පළමු ෆිල්ම් ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මාන දිනා ගත් අතර, පසුව නීල් කමල් (1968) සඳහා තවත් සම්මානයක් හිමි විය. ඇය රේෂ්මා ඕර් ෂෙරා (1971) චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය ද දිනා ගත්තාය. 1994 දී ඇයට ෆිල්ම් ෆෙයාර් ජීවිත කාලයටම ලැබෙන සම්මානය හිමි වූ අතර, එය ඉන්දියානු සිනමාව කෙරෙහි ඇයගේ දිගුකාලීන බලපෑම තවදුරටත් තහවුරු කළාය.
වහීදා ඉතා නිරෝගීව හා සතුටින් සිය කාලය ගත කරයි.ඇය තවමත් සිනමාවට දැඩි ඇල්මක් දක්වන අතර නිර්මාණ භාරගැනීම සීමා කර ඇත.මේ වන විට ගත කරන සිය නිදහස් කාලය තුළ වනජීවි (සත්ව) ඡායාරූපකරණයට යොමු වී ඇත. ඇය ඉන්දියාව, ටැන්සානියාව සහ නැමීබියාව වැනි රටවල සංචාරය කරමින් ඡායාරූප කලාවේ නිරත වේ.ඇයගේ සතුට සහ නිරෝගීභාවයේ රහස ලෙස පෙන්වා දෙන්නේ සෑම විටම ධනාත්මකව සිතීම සහ හොඳීන් සිනහ වීමයි.
 
පිටපත .
වසුන්දරා කුමාරි ධර්මරත්න
 
.
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4