මට මේ අවස්ථාව ලැබුණේ ගාමිණි ෆොන්සේකා නිසා

 

රංගනවේදී කැමිලස් ප්‍රනාන්දු

සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය වූ රේඛාව චිත්‍රපටය තිරගත වී මේ වනවිට හැට අට වසරක් සපිරී ඇත. එදා සිංහල සිනමාවේ පෙරළියක් ඇති කළ රේඛාව සිනමා නිර්මාණයට දායක වූ නිර්මාණකරුවන්සේම එහි රංගනයට එක් වූ හා විවිධ අයුරින් දායක වූ ශිල්පීන්ගෙන් අද ජීවතුන් අතර සිටිනුයේ හතර දෙනෙක් පමණි. ඒ තේගිරිස්ට රඟපෑ කැමිලස් ප්‍රනාන්දුත්, කතිරිනාහාමිට රඟපෑ අයිරාංගනී සේරසිංහත්, පුංචි නැටුම් ශිල්පිනියට රඟපෑ සුනිලා ජයන්තිත්, චිත්‍රපටයේ සීගිරි ළඳකගේ….ගීතය ගායනා කළ ලතා වල්පොළත් ය. එහි අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පටන් එහි රඟපෑ බොහෝ නළු නිළියන් ද කාර්මික ශිල්පීන්ද අද වෙනකොට මෙලොවින් සමුගෙන ගොසිනි. දැනට ජීවතුන් අතර සිටිනා කිහිපදෙනා අතරින් කෙනෙකු වනුයේ බී.එන්. කැමිලස් ප්‍රනාන්දුය. අද වන විට 83 වැනි වියේ පසුවන කැමිලිස් එදා රේඛාව චිත්‍රපටයේ රංගනයේ නියැළෙන විට 14 වන වියේ කුඩා දරුවෙක් විය. අංක 117, දෙවන හරස් වීදිය, වලව්වත්ත, ශ්‍රී ධර්මාරාම පාර, රත්මලාන ලිපිනයේ අද වන විට පදිංචිව සිටින කැමිලස් ප්‍රනාන්දු එදා සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය වූ රේඛාව චිත්‍රපටයට සම්බන්ධ වූ මතකයන් සරසවිය හා බෙදා ගත්තේ මෙපරිද්දෙනි.
 

රේඛාව චිත්‍රපටය තැනුණේ 1956 වර්ෂයේදීය. ඒ වන විට මම වයස අවුරුදු දාහතරක කුඩා දරුවෙක්. මා ඉපදුණේ 1942 වර්ෂයේදීය. මා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස රෝමානු කතෝලික පාසලෙනි. ඒ පහ හය ශ්‍රේණි දක්වා පමණි. එවක මා පදිංචිව සිටියේ දෙහිවල ප්‍රදේශයේය. මාගේ පියා වූයේ එලාරින් සිල්වෙස්ටර්ය. ඔහු රැකියාව කළේ රත්මලානේ සවුත් වෙස්ටන් බස් කොම්පැණියේය. ගාමිණි ෆොන්සේකා එවක පදිංචිව සිටියේ දෙහිවලය. ඒ වකවානුවේ ගාමිණි ෆොන්සේකා රංගනයේ නියැළෙන්නේ නැති නිසාවෙන් ජනපි‍්‍රයත්වයක් නොලබා සිටි කාලයක් විය. ගාමිණි ෆොන්සේකාගේ තාත්තා වුයේ චාල්ස් ෆොන්සේකාය. ඔහුට රේස් කරත්තයක් තිබිණි. මේ කරත්තයේ නැඟී ෆොන්සේකා මහතා නිරන්තරයෙන් අපේ ගෙවල් අසලින් ගමනේ යන අතරේ. මගේ ගෙදර සිට මාද ඒ දෙස බලා ඉන්නේ ගේ දොර කඩට වෙලාය. ඒ යන අතරේ චාල්ස් ෆොන්සේකා මහතා ද මා සමඟ සිනහ වී යන අවස්ථා ද තිබිණි. මගේ පියාත් ඔහුත් අතර මිත්‍රකමක් තිබිණි. මේ මිත්‍රකම නිසාම මගේ පියා සමඟ මා ද ගාමිණි ෆොන්සේකා මහතාගේ ගෙදරට යන අවස්ථා ද තිබිණි. ඔය කාලයේ මා පාසලේ විවිධ ප්‍රසංගයකට නාට්‍යයක් සඳහා සම්බන්ධ වී සිටියා. මට මතක හැටියට ඒ රජ කෙනෙකුගේ චරිතයක් වෙනුවෙන්.

දවසක් මා ගාමිණි ෆොන්සේකා මහතා ගේ ගෙදර ගිය වෙලාවක මගේ පියා පවසා සිටියේ මේ කොල්ලා රඟපාන්න ආසාවෙන් ඉන්නවා. නළුවෙක් වෙන්න කැමැතියි පොඩි සපෝට් එකක් දෙන්න කියාය. ඔය ගිය අවස්ථාවලදී මට ගාමිණි ෆොන්සේකා මහතා සමඟ ද මිත්‍රකමක් ඇති කරගන්නට හැකිවිය. දවසක් ගාමිණි ෆොන්සේකා මහතා මට කතා කර පැවසුවේ පොඩි ඉන්ටව් එකක් තියනවා අහවල් දවසට රේඛාව කියල චිත්‍රපටයක් හදනවා ඒකේ චරිතයක් තියනවා ලෙඩෙක්ගේ ඒකට හොඳ ද කියලා බලන්න එන්න කියලා. මාව දවසක් එක්ක ගියා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගෙදර. ඒ දවස්වල ලෙස්ටර්ගේ පවුලේ හැමෝම පදිංචි වෙලා හිටියේ දෙහිවල හෝලිෆැමිලි කොන්වන්ට් එකට අල්ලපු වත්තේ ගෙදරක. ලෙස්ටර්ගේ ගෙදර ගියහම මට ගාමිණි ෆොන්සේකා කිව්වා ලෙස්ටර් ඉස්සරහ මොනව හරි දෙයක් රඟපාල පෙන්වන්න කියලා. මම පාසලේ විවිධ ප්‍රසංගයට කරල තිබුණ නාට්‍යයේ දඩ කෙළි පානා සේ මා වනයේ… ගීතය කියමින් රංගනයක් ඉදිරිපත් කළා. ඒ වෙලාවේ ලෙස්ටර් ගේ අම්මා තාත්තා හිනාවෙවී මගේ රංගනයට අත්පුඩි ගැහුවා. කොහොමහරි ලෙස්ටර් මහත්තයා මාව චරිතෙට තෝරාගත්තා.

ඒ වෙලාවේ ගාමිණි ෆොන්සේකා කිව්වා චරිතෙ හොඳයි හොඳයි ඩේට් එකක් දෙන්නම් එදාට එන්න කිව්වා යන්න. දවසක් ගාමිණි ෆොන්සේකා මගේ ගෙදරට වාහනයක් එවල තිබුණා. මාව එක්ක යන්න. ඒ වාහනයෙන් මාව එක්ක ගියා. බුත්ගමුව නවදල්වත්තට එක්කන් ගිය ගමන් ෂූටින් කළේ නෑ සතියක් විතර හිටියා පිච්චර් එකේ හිටිය කට්ටියම එහෙ හිටියා. ශේෂා පලිහක්කාර, ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, සෝමපාල ධර්මපි‍්‍රය, එරික් ප්‍රනාන්දු, එන්.ආර් ඩයස්, රොම්ලස් ද සිල්වා ආදී ගොඩක් අය හිටියා මේ අය නැවතී සිටියේ අබේපුස්ස රෙස්ට් හවුස් එකේ එහෙ සිට නවදල්වත්තට ඔවුන් ෂූටින් සඳහා පැමිණියා. මේ චිත්‍රපටයේ රඟ පෑ කුඩාම දැරිය වුණේ මර්ටල් ප්‍රනාන්දු ඇය චිත්‍රපටයේ සේනගේ යෙහෙළියට රඟපෑවා. අද ඇය ජීවතුන් අතර නෑ. පිළිකාවක් හැදී මිය ගියා. මට තිබුණේ තේගිරිස්ගේ චරිතය කරන්න. සේනගේ චරිතය කළේ සෝමපාල ධර්මප්‍රිය. ජෝතිපාලට රඟපෑවේ ස්ටාලින් ද සිල්වා විදුහල්පතිවරයෙකුට කෙනෙක් රඟපෑවා. මට නම මතක නෑ. කවුද කියා. මම තේගිරිස්නේ මට රඟපාන්න තිබුණේ මුලින්ම ඔන්න ජෝතිපාල ඔන්චිල්ලාව පැද පැද ඉන්නවා ඔය අතරේ සේන කියනවා උඹ උදේ ඉඳන් ඔන්චිලි පදිනවා දැන්වත් මේ සනීප නැතුව ඉන්න තේගිරිස්ට මොකද ඕක දෙන්නෙ නැත්තෙ කියලා එතකොට ජෝතිපාල කියනවා මේ ලෙඩ කපුටට පුළුවන් ද ඔන්චිලි පදින්න කියලා. ඔන්චිල්ලාව පද්දල එකපාරට මගේ යට බඩට ගහනවා. ගහපු ගමන් මාව වැටෙනවා. ඒ පාර සේනයි ජෝතිපාලයි මේකට ගහගන්නවා. ඔය අතරේ ඉස්කෝලෙ මහතා එනවා. එතකොට ඉස්කෝලෙ මහතා අහනවා මොකද මොකද කියලා. ඒ පාර බලන්නකො ඉස්කෝලෙ මහත්තයා ජෝතිපාල තේගිස්ට පයින් ගැහුවා තේගිස් වැටුණා. තේගිස් සනීප නැති එක්කෙනා කියල ඒ පාර ඉස්කෝලෙ මහතා එයාලට ගහල මට දුන්නා ඔන්චිල්ලාව පදින්න. මේ සින් එක විතරක් නෙමේ තවත් සීන් වගයක් තිබුණා මම මෙහෙම ඉන්නකොට මට තව තව අසනීප වැඩිවෙනවා මට අමාරු වෙනවා.

මේ චිත්‍රපටයේ තියනවා අත තියයි ලෙඩ මැකෙයි නොමිලේ කියල සීන් එකක්. අත තිබ්බහම ලෙඩේ සුව වෙනවා සල්ලි ගන්නෙ නෑ. මෙන්න මේ සීන් එකට ඉන්නවා ගාමිණී ෆොන්සේකා, ලෙඩෙක් හැටියට අත තියයි ලෙඩ මැකෙයි නොමිලේ කියල පෝසටර් ගහල මේ චිත්‍රපටයේ මගේ තාත්තාට රඟපෑවේ වින්සන්ට් සේරසිංහ තව සීන් එකක් තිබුණ මගේ තාත්තා මුදලාලි කෙනෙක් තාත්තා කියනවා සේන මගෙ ළමය සනීප කරපන් මුදලාලිගේ සපෝටර් කෙනෙක් තමයි සුටියා සුටියාට රඟපාන්නේ. ඩී.ආර් නානායක්කාර සුටියා මගේ තාත්තාගෙන් සල්ලි අරගෙන මාව සනීප කරනවා කියල ඔහුගේ පුතාව මෙතනට අරන් ආවේ. මම ලෙඩේ වැඩිවුණා. මට කියනවා තේගිස් උඹට විශ්වාසයි නේද සේන උඹව සනීප කරයි කියලා ඒ පාර මම කියනවා ඔව් තාත්තේ සේන මාව සනීප කරයි කියලා මාව අතගානවා ඒ පාර සුටියා කියනවා මොකද කොලුවා බයවෙලා වගේ ඉන්නේ නැගිටිටෝනවා කියලා මාව ඇවිද්ද වනවා මට ඇවිද ගන්න බෑ ගල්ගොඩක් උඹ මාව ඇදගෙන වැටෙනවා. මාව මැරෙනවා මිරිච්ච ගමන් මගේ තාත්තා මාව ඔසවාගෙන ලෙඩ සනීප කරනවා කියල උඹල මෙහෙමද කරන්නේ කියල මහ හයියෙන් කෑගහනවා. මේ ළමය අන්ත්‍රාවෙලා කියල චුටිය ඇතුළු මාව සනීප කරන්න ආපු අය පැනල දුවනවා. මේ වෙලාවේ මගේ තාත්තා මාව උස්සගෙන කෑගහල අඩනකොට ඇස්වල කඳුළු වැක් කෙරෙනවා. මාව එහෙම හොල්ල හොල්ල අඩනකොට මට එදා ඇත්තටම බය හිතුණා.

අත තියයි ලෙඩ මැකෙයි නොමිලේ සීන් එකේ මට අමතරව ඉන්න තවත් රෝගියෙකුට තමයි ගාමිණි ෆොන්සේකා ඉන්නේ. ගාමිණී රැවුල වවාගෙන රෝගියෙක් ලෙස ඇවිත් අත තියාගෙන යනවා එයාගේ සීන් එක එච්චරයි. ගාමිණිෆොන්සේකා මේ චිත්‍රපටයේ රඟපාන්න නෙමෙයි හිටියේ. සංස්කරණ කටයුතු වලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. කොහොමහරි සෙට් එකේදී ගාමිණි ෆොන්සේකාගේ කකුලට ලොකු බැටරි පෙට්ටයක් පෙරළුණා. ඊට පස්සේ ගාමිණී ඇවිද්දේ ඒකෙ අමාරුවට කොරගහ ගහ ඒ පාර ලෙස්ටර් මහතා ගාමිණිට කිව්වා මේ හොඳම අවස්ථාව තමයි මේක ඔයාටත් ගාමිණි ඉන්න පුළුවන් ලෙඩෙක් හැටියට කියල තමයි ගාමිණිව ඒ සීන් එකට එන්ටර් කරගත්තේ. ගාමිණි රේඛාවේ රඟපාන්න තෝරාගෙන හිටියේ නෑ. සංස්කරණ කටයුතු තමයි එකතුවෙලා කරන්න හිටියේ. බැටරි පෙට්ටිය පෙරළුණු නිසා සීන් එකට ගත්තා. ලෙස්ටර් මහතා මාව මැරුණම මගේ සීන් ඉවර වෙනවා. මාව උත්සගෙන ගිහින් සොහොනෙ පුච්චනවා. ඒ සීන් එක ගන්න වෙලේ මම ළඟ හිටිය කියල මාව එලවා ගත්තා මේ පැත්ත පළාතක ඉන්න එපා කියල මම දුවල ගිහින් ඒ ළඟ තිබුණ සොල්දරයක් උඩට නැගල ඒ සීන් එක ගන්නවා බලන් හිටියා. මාව සෙහොනෙ පුච්චන තැනට සුටියත් සේනත් තව කට්ටිය එක්ක ආවා මගේ තාත්තා උන්ව බැනල එලවනවා මගේ පුතා මරාගත්තට මදිවට මෙතනට එනවා කියලා. රේඛාව චිත්‍රපටයේ රඟපෑමෙන් පසු මා වෙනත් කිසිදු චිත්‍රපටයක රඟපෑවේ නැත. මගේ පියාගේ අභාවය ඊට හේතු විය. රහස් දුපත චිත්‍රපටයේ ඩබින් සඳහා මට සහභාගි වන්න අවස්ථාව උදාවිය. සරසවිය චිත්‍රාගාරයේ එම කාර්ය සිදුකරනු ලැබීය. ඒ චිත්‍රපටයේ ස්වර්ණා කහවිට ගංවතුරක් ගැලීමෙන් පසු කුඩා දුපතකට ගොස් සැළලිහිණියෙක්ව ඇති කරනු ලැබේ. මේ සැළලිහිණියට කටහඬ දෙන්න කවුරුවත් නැතිතැන මට ආරාධනයක් ලැබිණි. ඒ අනුව මම සැළලිහිණියට හඬ කැවීම කළෙමි. මේ හඬ කැවීමේ කටයුත්ත අවසන් වූ පසු මට පිටරට පදිංචි අයකුගේ කාටුන් චිත්‍රපටයක සීන් කීපයක් වෙනුවෙන්ද හඬ කැවීම අවස්ථාවක් උදා විය. පසුකලෙක රේඛාවෙන් පසුත් ලෙස්ටර් චිත්‍රපට නිර්මාණය කරනු ලැබීය. නමුත් මාගේ තාත්තා ගේ අභාවයත් සමඟ මට රඟපෑමේ ආශාව මගෙන් ඈත්ව ගියේ මගේ තාත්තා නැතිවීමේ දුක නිසාමය. ඊට ගොඩක් හේතු වුයේ මගේ පියා මට මහත් සේ ආදරය කිරීමය. මම චිත්‍රපටයක රඟනොපෑවත් ලෙස්ටර් පවුල හා නිතර සබඳතා පැවැත්වූවා. නිරන්තරයෙන් ලෙස්ටර් මහතාගේ ගෙදර යාම හිතවත්කම් නොඅඩුව තිබිණි. පසු කලෙක ඩික්මන් පාරේ පදිංචියට ලෙස්ටර් මහතා ගිය ද මා නිරන්තරයෙන් දුරකථනයෙන් හෝ සුව දුක් විමසීමට පුරුදුව සිටියා.

මාගේ පවුලේ දරුවෝ අටදෙනෙක් විය. මේ අය අතුරින් මගේ අක්කා කෙනෙකු වූ එමිල්ඩා කුරුප්පු මම රඟපෑමට යනවාට පුදුම විධියට උදවු කළා. ඇය බොහෝ ආශාවෙන් මාව ඒ සඳහා දිරිමත් කරනු ලැබුවා. මීට මාස කීපයකට උඩ දී ඇය ද මෙලොවින් සමුගෙන ගියහ. මගේ මව වුයේ ලුසී පීරිස් ඇය මම රඟපෑ රේඛාව චිත්‍රපටය බලා කඳුළු සැලු හැටි මට අද වගේ මතකය. රේඛාව චිත්‍රපටය තිරගත වන විට මගේ පියා මෙලොවින් සමුගෙන ගොස් තිබුණා. චිත්‍රපටයේ මංගල දර්ශනය තිබුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේ එය බලන්නට ආ මගේ අම්මා මාව මැරිල සොහොනක පුච්චනවා දැක ඉකිගසා අඩන්නට විය. ඒ වෙලාවේ මගේ ඥාතියකු අම්මාට පවසා සිටියේ ඔය රඟපෑමක් ඕක හිතට ගන්න එපා කියාය.

තාත්තාගේ මරණයත් සමඟ මා රඟපෑමෙන් ඉවත් වන්නට තවත් හේතුවක් වුයේ මට සී.ටී.බී. එකේ රැකියාවක් ලැබිමය. රත්මලානෙ ඩිපෝවේ ස්ටෝස් අංශයේ මම රැකියාව කරනු ලැබුවා. අනුරාධපුර මඩකලපුව ලංගම බස් ඩිපෝවල ද දඬුවම් මාරුවක් ලෙස මට සේවය කරන්නට ද සිදුවුණා. පසු කලෙක නැවතත් රත්මලාන ඩිපෝවට අනුයුක්තව රාජකාරි කරනු ලැබු මා වසර හතලික සේවා කාලයකින් පසු රත්මලාන බස් ඩිපෝවේ රාජකාරියන් විශ්‍රාම ගත්තා.

මෙහෙම කතාකරන කොට මට අපුරු කතාවක් මතකයට එයි ඒ මගේ අනික් තාත්තාගේ කතාවය. රේඛාව චිත්‍රපටයේ මගේ තාත්තා ලෙස රඟපෑවේ වින්සන්ට් සේරසිංහ මහතාය. එතුමා මට හරිම ආදරෙයි ඒ ගැන කියලා වැඩක් නැත. මට හැම සහයෝගයක්ම දුන්නා මොනම විධියකින් හරි මට දවසක් එතුමා කිව්වා එයාව හමුවන්න එන්න කියලා. ඒ කාලේ එතුමා වැඩ කළේ සී ඩබ්ලිව් මැකී ස්ටෝස් එකේ. මම හිතෙන්නේ එහි හොඳ තනතුරක් ඔහු දැරුවා. මට එතනට යන්න දන්නෙ නෑ මම පොඩියි. දෙහිවල ඉඳල මගේ ළඟ තිබුණ බයිිසිකල් රෝදයක රිම් එකක් ඕක මම ගහගෙන පිටකොටුවට ආවා. ඒ ඇවිත් සේරසිංහ මහත්තයා කියලා තිබුණ තැනට ආවා. එතන හිටියා සිකියුරිටි ගාඩ් කෙනෙක් මගෙන් ඇහුවා ඇයි කියලා මම කිව්වා වින්සන්ට් සේරසිංහ මහත්තයා හමුවන්න කියලා එතකොට මගෙන් ඇහුවා වින්සන්ට් සේරසිංහ මහතා හමුවන්න ඔයා කවුද කියලා මම කිව්වා මගේ තාත්තාට චිත්‍රපටයේ හිටියේ වින්සන්ට් සේරසිංහ මහත්තයා කියල ඒ පාර සිකියුරිටි ඇහුවා ඔයා මොකේද ආවේ කියලා මම කිව්වා මගේ කාර් එක බෙන්ස් එක මේ තියෙන්නේ කියලා එහෙනම් කාර් එක අතනින් පාක් කරන්න කියල මට තැනක් පෙන්නුවා. මම එතනින් රිම් එක තිබ්බා. සිකුරිටි ගාඩ් සේරසිංහ මහතාට දුරකථනයෙන් කතා කළා. සර් මේ පුතා ඇවිත් ඉන්නවා බෙන්ස් කාර් එකක එන්න කියන්නද කියල ඒ පාර එතුමා කිව්වා එන්න කියන්න කියල වැඩිවෙලා ගියේ නෑ සේරසිංහ මහත්තයා මාව හොයාගෙන ළඟට ඇවිත් මාව අල්ලගෙන උඩට ගිහින් පුටුවක ඉන්දවල ගොඩක් වෙලා කතා කර කර හිටියා. මට සල්ලි පණන් නැති වුණාට හරියට මට එතුමා උදවු කළා හැමදේකින්ම. මම අසනීප වුණ අවස්ථාවක එතුමාගේ වාහනයෙන් මාව රත්නම් එකට එක්ක ගිහින් බේත් අරන් දුන්නා. එතුමා නැති වුණාහම මට හරි දුකයි. මගේම තාත්තා කෙනෙක් වගේ තමයි එතුමා චිත්‍රපටයේ තාත්තා මගේ තාත්තාටත් වැඩිය හොඳයි කියලත් මට කියන්න පුළුවන්. පසුකලෙක අයිරංගනී සේරසිංහ මහත්මියව මට හමු වූ දවසක කිව්වා ඔබතුමියගේ මහත්තයා මට තාත්තා කෙනෙක් වගේ එතුමාට මට උදවු කරන්න නොලැබීම මට හරිම කනගාටුයි. එතුමා මට කරපු උදවු උපකාර වලට කියලා.

මම අද අසූදෙවැනි වියේ පසුවෙමි. කිසිදු මත්පැන් පානයකින් තොර පුද්ගලයෙක්. මම උප්පැන්න බල බලා ජිවත්වන කෙනෙකුත් ද නොවෙමි. වෙන්න තියන දෙයක් මම සතුටින් භාර ගන්නවා. එතකන් මිනිසුන්ට උපරීමයෙන් සේවය කිරීම මගේ ප්‍රාර්ථනයයි. මගේ දුවත් පුතාත් බිරියත් විදේශගතව ඉන්නවා. දුව ජනිතා සන්ධ්‍යා ඇයට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉතාලියේ රැකියාව කරනවා. පුතා අජන්ත ප්‍රනාන්දු එයාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අයර්ලන්තයේ රැකියාව කරනවා. මගේ බිරියත් ඉතාලියේ රැකියාව කරනවා. ඒ රටවල පදිංචියට එන්න කිව්වත් මට යන්න ආශාවක් නෑ. මම ගිහින් ඉඳල ආවා. මම ආසයි ලංකාවට මේ පරිසරයට මට හොඳට උයන්න පිහන්න පුළුවන්. කාලයක් මම කොළඹ නිපෝන් හෝටලයේ වැඩ කළ චීන ජාතික කෝකියකුගේ බොහෝ කෑම වර්ග හදන හැටි ඉගෙන ගත්තා. මගේ මහප්පාට තිබු බම්බලපිටියේ සුපර් නෝවා හෝටලයේ වැඩකරමින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත් දේ අද මට ගොඩක් ප්‍රයෝජනවත් සමහරදාට මම ගෙදර හදන සුප් එක බොන්න. අසල්වැසි කවුරුත් බොහොම කැමැත්ත්ක දක්වනවා. එකෙන් පේනවානේ මගේ ඉහුම් පිහුම් වල තරම. මම ෆයිඩ් රයිස් එකක් හැදුවොත් නොකන මිනිහෙක් නෑ මම බොහොම සතුටින් ජීවත් වෙනවා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

සටහන: චන්දන දයාසිරිවර්ධන 

 
 

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4