සිනමාවේ යථාර්ථවාදී රූපණවේදියකු දිවි සැරිය නිම වෙයි
ප්‍රේක්ෂකයා විනෝදයට පත් කරන නළුවන් සිටිති. තමන් නිරූපණය කරන චරිත යථාර්ථවාදී ඒවා යැයි ප්‍රේක්ෂකාගාරය විශ්වාස කරවන නළුවන් ද සිටිති. එහෙත් සිනමා තිරය මත නිරූපණය වන සමාජය දෙස නැවත හැරී බැලීමට තරම් අපව පොලඹවනසුලු නළුවන් සිටින්නේ ඉතා අල්ප වශයෙනි. නානා පටේකර් අයත් වූයේ එම තුන්වන වර්ගයටයි. ඔහුගේ රංගනයන් කිසිවිටෙකත් සාම්ප්‍රදායික ආකර්ෂණය, කෘත්‍රිමව ගොඩනැගූ චමත්කාරය හෝ බොලිවුඩ් වීරයා පිළිබඳ සුපුරුදු මිථ්‍යා ප්‍රතිරූපය මත රඳා පැවතුණේ නැත. ඒ වෙනුවට, ඔහු තිරය මතට ගෙන ආවේ දෘඨතර, අනපේක්ෂිත සහ බොහෝ විට සිත කැලඹීමට ලක් කරන සුලු චරිතය. එම චරිත චිත්‍රපටයේ සීමාවෙන් ඔබ්බට ද පවතින්නක් යැයි හැඟෙන ආකාරයේ යථාර්ථවාදී බවකි.
2026 ඔක්තෝබර් 8වන දින වයස අවුරුදු 75 දී අභාවප්‍රාප්ත වූ පටේකර්, හින්දි සහ මරාති සිනමාව, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණකරණය පුරා විහිදුණු සිය වෘත්තීය ජීවිතය ඔහුට ආදරය කළ රසිකයන් වෙනුවෙන් ඉතිරි කර තබා නික්ම ගොස් ඇත. වර්ෂ 1951 ජනවාරි 1 වැනිදා උපත ලැබූ නානා පටේකාර්ගේ සැබෑ නම විශ්වනාත් පටේකාර් ය. සිනමාවට පැමිණීමට පෙර ඔහු අතිශය දුෂ්කර ජීවිතයක් ගත කළේය. පාසල් වියේදී කිලෝමීටර් 8ක් පයින් ඇවිද ගොස් චිත්‍රපට පෝස්ටර් ඇඳීම සහ පාරවල්වල මංතීරු (zebra crossings) වර්ණ ගැන්වීම වැනි කුලී වැඩ කරමින් ඔහු දිනකට රුපියල් 35ක් සහ එක වේලක ආහාරයක් උපයා ගත්තේය. ඔහුගේ උරුමය, හුදෙක් ජනප්‍රිය දෙබස් එකතුවකට හෝ ඔහු සිහිපත් කරමින් ලියැවෙන ආවර්ජනාත්මක සටහන්වලට පමණක් සීමා නොවිය යුතු ය. ඔහුගේ රංගනය අසාමාන්‍ය මට්ටමකට ගෙන ආ සාධක මොනවාද? ඔහුගේ සීමාවන් තිබුණේ කොතැනද? සහ ඔහුගේ පොදු ප්‍රතිරූපය වටා ඇති පරස්පරතා ඔහුව සිහිපත් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරන්නේ ඇයි ද? යන්න පිළිබඳ විචාරාත්මක විමසුමක් බව සඳහන් කළ යුතු ය.
බොලිවුඩ් වීරයාට අභියෝග කළ මුහුණුවරක් සහිත නානා පටේකාර් දශක ගණනාවක් පුරා, ප්‍රධාන ධාරාවේ හින්දි සිනමාව දැඩි ලෙස රඳා පැවතියේ පුරුෂ කේන්ද්‍රීය තරු ප්‍රතිරූපයක් (masculine stardom) මත ය. එහි ප්‍රධාන නළුවාට ආකර්ෂණීය පෙනුමක්, ශක්තිමත් ශරීරයක්, ප්‍රේමාන්විත බවක් සහ කිසිවෙකුට පරාජය කළ නොහැකි බවක් (invincibility) තිබිය යුතු යැයි අපේක්ෂා කෙරිණි. ඔහු පීඩිතයන් නියෝජනය කරන අවස්ථාවලදී පවා, ප්‍රධාන නළුවාගේ පෙනුමෙන් බොහෝ විට ඇඟවුම් කෙරුණේ ඔහු අවසානයේ ජයග්‍රහණය කිරීමට නියමිත අයෙකු බවයි.
නානා පටේකර් ඉදිරිපත් කළේ මීට හාත්පසින්ම වෙනස් වූ ආකෘතියකි. ඔහුගේ කෝණික මුහුණ, තියුණු දෑස්, සුවිශේෂී කටහඬ සහ නොසන්සුන් ශාරීරික ඉරියව්, ප්‍රධාන ධාරාවේ වීරයා පිළිබඳ පැවති ඔප දැමූ සම්මතයන්ට අභියෝග කළේය. ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට ඔහුට ‘පරාජය කළ නොහැකි වීරයෙකු’ ලෙස පෙනී සිටීමට අවශ්‍ය නොවීය. ඔහු නිරූපණය කළ චරිත අස්ථාවර, ප්‍රචණ්ඩකාරී, සදාචාරාත්මකව බිඳ වැටුණු හෝ මානසිකව අසමතුලිත විය හැකිව තිබ “විදූ විනෝද් චොප්රා” විසින් අධ්‍යක්ෂණය කළ “පාරින්ද” (1989) චිත්‍රපටයේ, ඔහු බිය, පක්ෂපාතිත්වය සහ සංවිධානාත්මක අපරාධවල කුරිරු ආර්ථිකයෙන් හැඩගැසුණු ලෝකයකින් ප්රචණ්ඩත්වය මතුවන අපරාධකරුවෙකු වන “ඇනා” චරිතය නිරූපණය කළේය. එම චිත්‍රපටයේ රංගනය සඳහා පටේකර් හොඳම සහය නළුවා සඳහා ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය.
ඇනා චරිතය වීරයාට බාධාවක් සැපයීම සඳහා පමණක් පවතින දුෂ්ටයෙකු ලෙස හැසිරීම සිදු කළේ නැත. ඔහු මිනිස් සබඳතා බලයෙන් සහ පැවැත්මෙන් වෙන් කළ නොහැකි අපරාධකාරී පරිසරයක් මූර්තිමත් කළේය. පටේකර්ගේ ජයග්‍රහණය පවතින්නේ එම පරිසරය මනෝවිද්‍යාත්මකව විශ්වසනීය කිරීම තුළය. රංගනයේ භාෂාවක් ලෙස කෝපය යන සාධකය අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් පටේකර්ගේ වෘත්තීය ජීවිතය නැවත නැවතත් නිර්වචනය කළේ එක් චිත්තවේගීය ගුණාංගයක් නම්, එය කෝපයයි. මුහුණේ මාංශ පේශි තද වීම, දිගු බැල්මක්, රිද්මයේ හදිසි වෙනසක් හෝ ප්රචණ්ඩත්වය අපේක්ෂා කරන බවක් පෙනෙන නිශ්ශබ්දතාවයක්. කෝපය බලයේ ප්රකාශනයක් සහ චරිතයක අසරණභාවය පිළිබඳ සාක්ෂියක් විය හැකි බව ඔහු තේරුම් ගත්තේය.
“ක්‍රාන්තිවීර්” (1994) හි, දූෂණය, අයුක්තිය සහ වාර්ගික බෙදීමට එරෙහිව හඬක් බවට පත්වන කෝපාවිෂ්ට සහ කලකිරුණු මිනිසෙකු වන ප්‍රතාප් නමැති චරිතය නිරූපණය කළේය. එම චිත්‍රපටයේ පටේකර්ට ඔහුගේ බලගතු සංවාද ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් ලබා දුන් අතර, ඔහුගේ රංගනය චරිතය ජනප්‍රිය දේශපාලන සිනමාවේ අමතක නොවන චරිතයක් බවට පත් කිරීමට උපකාරී විය. එම චරිතය සඳහා ඔහුට හොඳම නළුවා සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය ද ලැබුණි. පටේකර්ගේ චිත්තවේගීය පරාසයේ වඩාත්ම සංවේදී ප්රකාශනය වී. වී. ෂිර්වඩ්කාර්ගේ කීර්තිමත් නාට්‍යයෙන් අනුවර්තනය කරන ලද මරාති චිත්‍රපටයක් වන “නට්සම්රාත්” (2016) ය. ඔහු විශ්‍රාමික නාට්‍ය පුරාවෘත්තයක් වන “ගන්පාත් රාම්චන්ද්‍ර බෙල්වල්කර්” නමැති චරිතය නිරූපණය කළේය. මීරා නායර් නම් සිනමාවෙිදිනිය අධ්‍යක්ෂණය කළ “සලාම් බොම්බේ” චිත්‍රපටයේ බාබාගේ චරිතය තුළින් ඔහු ප්‍රේක්ෂක මනසේ රැඳුණු චරිතයකි. එම චිත්‍රපටය වර්ෂ 1989 දී ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම අන්තර්ජාතික චිත්‍රපටය සඳහා ද නිර්දේශ විය.
අභාවප්‍රාප්තවීමට දින කිහිපයකට පෙර ඔහු ගෝවාහි පැවති මහජන හමුවකදී ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ කළ ප්‍රකාශයක් බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
“අපිට කවදා හරි යන්න වෙනවා. හෙට මම මෙතන ඉඳීයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. සෑම කෙනෙකුගේම ජීවිතය කවදා හරි ඒ තැනට ළඟා වෙනවා. ඒත් ඒ දේ සිද්ධ වෙන්න කලින්, මම මගෙන්ම අහන්න ඕන මට කරන්න ඕන දේ මට කරගන්න පුළුවන් වුණාද? කියලා?”
ජීවිතයේ අනිත්‍යතාව සිහිපත් කරමින් ඔහු පැවසූ ඒ වදන්, අද ඔහුගේ වියෝවත් සමඟ යළි සිහිපත් කරවයි. ජීවිතය කෙතරම් කෙටි වුවත්, අප ඉතිරි කර යන මතකයන් සහ අප කළ මෙහෙවර දිගු කලක් ලෝකය තුළ රැඳී පවතින බවට ඔහුගේ කලා ජීවිතය කදිම සාක්ෂියකි.
“රංගනය යනු රඟපෑම නොව, චරිතය තුළ ජීවත්වීමයි” යන සංකල්පය සිය රංගන දිවිය පුරාවටම සනාථ කරමින් ද සාම්ප්‍රදායික සිනමා තාරකා සංකල්පය උඩුයටිකුරු කරමින් ද තමන්ටම ආවේණික තාත්වික චරිත නිරූපණ ශෛලියකින් Parinda (1989), Krantiveer (1994), Agni Sakshi (1996), Ab Tak Chhappan (2004)) වැනි චිත්‍රපට හරහා ඔහු පෑ රංගන ප්‍රතිභාව අසමසම ය. හින්දි සිනමාවේ ඉහළම තැනක සිටියදී පවා මරාටි සිනමාව අතහැර නොදැමූ ඔහු, “Natsamrat “(2016) වැනි චිත්‍රපට හරහා මරාටි සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ගියේය. ඔහුගේ තියුණු දෙබස් උච්චාරණය, දෑස්වලින් පළ කළ හැඟීම් ප්රකාශනය සමගින් චරිතවලට මුසු කළ ජවය ඉන්දියානු සිනමා ඉතිහාසයේ සැමදා අමරණීයව පවතිනු ඇත.
පිටපත : මලින්ත විතානගේ
loadmoduleid 150