ආදරය වෙනුවෙන් ජීවිතය කැප කළ ආශා පරේක්

1942 ඔක්තෝබර් 2 දින බැංගලෝරයේ ගුජරාටි පවුලක උපත ලද ආශා පරේක් ඉන්දියානු චිත්‍රපට නිළියක්, අධ්‍යක්ෂවරියක් සහ නිෂ්පාදකවරියක් වේ.ඇය සිය වෘත්තීය ජීවිතය පුරාවට වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට රැසක පෙනී සිටියාය.ඇයගේ වකවානුවේ දී වැඩිම වැටුප් ලබන නිළිය වූ අතර 1960 සහ 1970 දශකවල වඩාත්ම සාර්ථක නිළියන්ගෙන් කෙනෙකි.හින්දි සිනමාවේ සෑම කාලයකම වඩාත්ම බලගතු නිළියන්ගෙන් කෙනෙකු ලෙස ද සැලකේ. 1992 දී, සිනමා ක්ෂේත්‍රයට ඇයගේ දායකත්වය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ඇයට පද්ම ශ්‍රී සම්මානය පුද කරනු ලැබීය.වැඩිම චිත්‍රපට ප්‍රමාණයක රන් සහ රිදී වාර්තා තැබීම හේතුවෙන් ඇය “ජුබිලි ගර්ල්” ලෙසින් ද හැඳීන්වේ.

ඇගේ මව, සුධා නොහොත් සල්මා පරේක්, බෝරි මුස්ලිම් ජාතික කාන්තාවක් වූ අතර, ඇයගේ පියා, බචුභායි පරේක්, හින්දු ගුජරාටි ජාතිකයෙකි.ඔහු මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයෙකි.සුධා පරේක් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වූ අතර, ටිස්‍රී මන්සිල් (1966), ගර්ල් විතවුට් අ නේම් (1973) සහ ආන් මිලෝ සජ්නා (1970) යන සිනමාපටවල ඇඳුම් නිර්මාණ සඳහා දායක විය. ඇය 1990 සැප්තැම්බර් 2 වන දින පිළිකා රෝගි තත්වයෙන් මිය ගියාය.

ආශා පරේක් පවුලේ එකම දරුවා වූ බැවින් දෙමාපියන්ගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය.ඇය මුම්බායි හි පිහිටි ජේ.බී.පෙටිට් බාලිකා පාසලේ උසස් අධ්‍යාපනය හැදැරීය.පරේක්ගේ මව විසින් ඇයව කුඩා කල සිටම ඉන්දියානු සම්භාව්‍ය නර්තන පන්තිවලට ඇතුළත් කළ අතර, එහිදී ඇය පණ්ඩිත් බන්සිලාල් භාරතී ඇතුළු බොහෝ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තාය.

පරේක් ඇයගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ බේබි ආශා පරේක් යන තිර නාමය යටතේ ළමා කලාකාරිනියක් ලෙසයි. ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ බිමල් රෝයි වේදිකා උත්සවයකදී ඇයගේ නර්තනය දුටුවේය. ඇය වයස අවුරුදු දහයේදී එනම්

1952 වසරේ තිරගත වූ “ආසමාන්” චිත්‍රපටයේ රඟපෑ අතර පසුව බාප් බෙටි (1954) චිත්‍රපටයේ නැවත රඟපෑවාය. ළමා අවධියේ දී ඇය අවසානයට රඟපෑ චිත්‍රපටය අසාර්ථක වීමෙන් කලකිරීමට පත් විය.එකල ඇය තවත් ළමා චරිත කිහිපයක් කළද, පාසල් අධ්‍යාපනයට නැවත යොමු වීම නිසා ඉන් ඉවත් විය.වයස දහසය වන විට ඇය නැවත රංගනයට පිවිසීමත් වීරවරියක් ලෙස චරිත නිරූපණ කිරීමටත් ඉටා ගත්තේය. නමුත් ඇය විජේ භාත්ගේ ගුන්ජ් උති ෂෙහ්නායි (1959) චිත්‍රපටය වෙනුවෙන් රගපෑමේ අවස්ථාව අහිමි වූයේ ඇය තරුවක් නොවන නිසා යැයි එහි චිත්‍රපට නිෂ්පාදකයා පැවසීය. ඔහු එසේ පවසා ඇත්තේ නිළි අමීතාට පක්ෂව ය. මෙම සිද්ධියෙන් හරියටම දින අටකට පසු, චිත්‍රපට නිෂ්පාදක සුබෝද් මුඛර්ජි සහ ලේඛක-අධ්‍යක්ෂ නසීර් හුසේන් ඇයව දිල් දේකේ දේකෝ (1959) චිත්‍රපටයේ වීරවරිය ලෙස තෝරා ගත් අතර එය ඇයව විශාල තරුවක් බවට පත් කළේය. හුසේන් සමඟ දිගු සම්බන්ධයක් ද ආරම්භ වූ අතර ඇය තවත් චිත්‍රපට හයක ඔහුගේ වීරවරිය ලෙස රඟපෑවාය.ජබ් ප්‍යාර් කිසි සේ හෝතා හේ (1961), පිර් වෝහි දිල් ලායා හූන් (1963), ටිස්‍රී මන්සිල් (1966), බහරොන් කේ සප්නේ (1967), ප්‍යාර් කා මෝසම් (1969), සහ කැරවාන් (1971). ඇය නසීර් හුසේන්ගේ මන්සිල් මන්සිල් (1984) චිත්‍රපටයේ ආරාධිත චරිතයක් රඟපෑවාය.බහරොන් කේ සප්නේ (1967) චිත්‍රපටයෙන් ආරම්භ වී සිනමාපට 21 ක බෙදාහැරීමේ කටයුතුවලට ද හුසේන් ඇයව සම්බන්ධ කර ගත්තේය. රාජ් කොස්ලාගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට තුනක් වන දෝ බදාන් (1966), චිරාග් (1969) සහ මේන් තුල්සි තෙරේ ආන්ගන් කි (1978) හි ඛේදජනක චරිත නිරූපණය කිරීමෙන් ඇයට බැරෑරුම් ප්‍රතිරූපයක් ලබා දුන්නාය.පරේක් ඇයගේ බොහෝ චිත්‍රපටවල ප්‍රධාන වශයෙන් ආකර්ෂණීය ගැහැනු ළමයෙකු ,විශිෂ්ට නර්තන ශිල්පිනියකු, ටොම්බෝයි කෙනෙකු ලෙස චරිතයන් හරහා ප්‍රසිද්ධ විය. ඇයගේ අනෙකුත් ප්‍රියතම චිත්‍රපට වූයේ ශක්ති සමන්තා අධ්‍යක්ෂක කළ පග්ලා කහින් කා (1970) සහ කටි පතං (1970) ය.1966 වසරේදී ලව් ඉන් ටෝකියෝ හි ඇය රඟපෑවාය.

විජේ ආනන්ද් සහ මොහාන් සේගල් ඇතුළු බොහෝ වැදගත් අධ්‍යක්ෂවරු ඇයව ඔවුන්ගේ චිත්‍රපට කිහිපයකට නැවත නැවතත් තෝරා ගත්හ. හින්දි සිනමාවේ ජනප්‍රියත්වයෙන් ඇය උච්චතම අවස්ථාවට පැමිණි විට ගුජරාටි චිත්‍රපට තුනක ද රඟපෑවාය. පළමුවැන්න අඛන්ද් සෞභාග්‍යවතී (1963) වූ අතර එය විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තාය. ඇය ධර්මේන්ද්‍ර සමඟ කන්කන් ද ඕලේ (1971) සහ දාරා සිං සමඟ ලම්බාර්දර්නි (1976) මෙන්ම ජනප්‍රිය කන්නඩ චිත්‍රපටයක් වන ෂරවේගදා සාරදාරා (1989) වැනි පන්ජාබි චිත්‍රපට කිහිපයක ද රඟපෑවාය. ප්‍රධාන නිළියක් ලෙස ඇයගේ කාලය අවසන් වූ පසු, පරේක් භාභි (නෑනා) සහ මව ලෙස සහාය චරිත නිරූපණය කළ නමුත් ඇය මෙය ඇයගේ වෘත්තීය ජීවිතයේ “අමුතු අවධිය” ලෙස හැඳීන්වීය. එබැවින් ඇය චිත්‍රපටවල රඟපෑම නැවැත්වූ අතර ඇයගේ මිතුරෝ් ඇයට රූපවාහිනී අධ්‍යක්ෂවරියක් වීමට නිර්දේශ කළහ. ඇය ඔවුන්ගෙන් උපදෙස් ලබාගෙන 1990 දශකයේ මුල් භාගයේදී ජෝති නම් ගුජරාටි කතා මාලාව සමඟ රූපවාහිනී අධ්‍යක්ෂවරියක් බවට පත්විය. ඇය අක්රුති නමින් නිෂ්පාදන සමාගමක් පිහිටුවා, පලාෂ් කේ පූල්, බාජේ පායල්, කෝරා කගාස් සහ ප්‍රහසන චිත්‍රපටයක් වන දාල් මේන් කාලා නිෂ්පාදනය කළාය. ඇය 1994 සිට 2000 වසර දක්වා සිනමා කලාකරුවන්ගේ සංගමයේ සභාපතිනිය වූවාය. පරේක් ඉන්දියාවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයේ (වාරණ මණ්ඩලයේ) පළමු කාන්තා සභාපතිනිය වූවාය. ඇය 1998 සිට 2001 දක්වා එම තනතුර දැරූ අතර ඒ සඳහා ඇයට වැටුපක් නොලැබුණු නමුත් චිත්‍රපට වාරණය කිරීම සහ ශේඛර් කපූර් අධ්‍යක්ෂණය කළ එලිසබෙත් සිනමාපටය සඳහා අවසරය ලබා නොදීම සම්බන්ධයෙන් බොහෝ මතභේද ඇති විය. පසුව, ඇය සිනමා සහ රූපවාහිනී කලාකරුවන්ගේ සංගමයේ (සී අයි එන් ටී, ඒ ඒ) භාණ්ඩාගාරික බවට පත් වූ අතර පසුව එහි නිලධාරී මණ්ඩලයක් ලෙස තේරී පත් විය. රූපවාහිනී කතා මාලා අධ්‍යක්ෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ආශා 1995 දී රංගනය නැවැත්වීය.2008 දී, ඇය ඉන්දියානු විනෝදාස්වාද නාලිකාවක් වන 9ඔ හි ත්යෝහාර් ධමාකා රියැලිටි වැඩසටහනේ විනිශ්චයකාරියක් වූවාය. 2017 දී,කාලිඩ් මොහොමඩ් විසින් සම-රචනය කරන ලද “ද හිට් ගර්ල්” නමින් ඇගේ ස්වයං චරිතාපදානය නිකුත් කරන ලදී.

ආශාගේ සැබෑ ජීවිතයේ ප්‍රේමය ඉන්දියානු සිනමා ඉතිහාසයේ කතාබහට ලක්වූ, එහෙත් අතිශයින්ම සංයමයකින් හා කැපකිරීමකින් පිරුණු පුවතකි. ඇය සිය දිවිය පුරා අවිවාහකව සිටීමට තීරණය කළේ, ඇය දැඩිව ප්‍රේම කළ එකම පුද්ගලයා වූ ප්‍රකට අධ්‍යක්ෂක නසීර් හුසෙන්ගේ පවුල් ජීවිතයට හානියක් නොකිරීමටයි.

1959 දී ආශා සිය රංගන දිවියේ විශාලතම හැරවුම් ලක්ෂය වූ ‘දිල් දේකේ දේඛෝ’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙසින් දායක වූයේ නසීර් හුසේන්ගේ අධ්‍යක්ෂණයෙනි. ඔවුන්ගේ ඒ සිනමා සබඳතාව කාලයත් සමඟ සැබෑ ප්‍රේමයක් බවට පෙරළුණි. කෙසේ වෙතත්, නසීර් හුසේන් ඒ වන විටත් විවාහක වූ අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙක් විය.

ආශා පරෙක් ” ද හිට් ගර්ල් ” නම් සිය ස්වයංචරිතාපදානයේ හෙළි කළ පරිදි ඇය නසීර් හුසේන්ට දැඩිව ආදරය කළද, කිසිවෙකුගේ නිවසක් බිඳීන්නියක වීමට ඇයට අවශ්‍ය නොවීය. ඇය ඔහුගේ පවුලට ගරු කරමින්, ඔහුගේ දරුවන්ට මානසික පීඩාවක් නොදෙනු පිණිස විවාහයේ අයිතිය ඉල්ලා නොසිටීමට තීරණය කළාය.

සමාජයේ ඇතිවන කටකතාවලට ඉඩ නොදී, තම ආදරය හදවතේ සඟවාගෙන සිනමා නිර්මාණ හරහා පමණක් ඔවුන්ගේ සම්බන්ධය අලංකාර ලෙස පවත්වාගෙන යාමට ඇය වගබලා ගත්තාය. අවසානය දක්වාම ඔවුන් අතර තිබුණේ අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා අවබෝධයෙන් පිරුණු බැඳීමකි.

නසීර් හුසේන් හැරුණු විට ඇමරිකානු ජාතික මහාචාර්යවරයෙකු සමඟද විවාහ වීමට අවස්ථාවක් උදාවූ නමුත්, ඔහුට ඒ වන විටත් පෙම්වතියක් සිටින බව හෙළි වීමෙන් පසු එම යෝජනාවද අතහැර දැමුවාය.

ඇය පසුව සඳහන් කර තිබුණේ, වෙනත් පිරිමින් වෙත ගොස් අසාර්ථක විවාහ ජීවිතයකට හිමිකම් කීමට වඩා, තමා ආදරය කළ පුද්ගලයාට ගරු කරමින් අවිවාහකව ස්වාධීනව ජීවිතය ගත කිරීම තම ජීවිතයේ ගත් ඉතාමත් නිවැරදි හා සාර්ථක තීරණයක් බවයි. නසීර් හුසේන්ගේ පවුලේ අය පවා ඇයට වෛර නොකළ අතර, ඇයගේ චරිතාපදාන එළිදැක්වීමේ උත්සවයට පවා ඔහුගේ දරුවන් සහභාගී වීමෙන් ඔවුන් අතර වූ ගෞරවනීය බැඳීම තහවුරු විය.

ආශා පරේක්ගේ ප්‍රේමය සිනමා තිරයෙන් ඔබ්බට ගිය, අන් අයගේ සතුට වෙනුවෙන් තම ආශාවන් පාලනය කරගත් උතුම් මානව සබඳතාවක් ලෙස හැඳීන්විය හැක.

අවශ්‍යතා ඇති අය සඳහා පරේක් විසින් “බීසීජේ රෝහල සහ ආශා පරේක් පර්යේෂණ මධ්‍යස්ථානය” නමින් රෝහලක් විවෘත කර ඇත. ඇය ප්‍රකාශ කර ඇත්තේ රෝහල විවිධ කාලවලදී වසා දමා නැවත විවෘත කර ඇති බවයි.

අඛන්ද් සෞභාග්‍යවතී (1963) චිත්‍රපටයේ හොඳම නිළිය සඳහා ගුජරාට් ප්‍රාන්ත සම්මානය

චිරාග් (1969) චිත්‍රපටයේ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය

කටි පතං (1971) චිත්‍රපටයේ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය.

උදාර් කා සින්දූර් (1976) චිත්‍රපටයේ හොඳම සහය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය

මේන් තුල්සි තෙරේ ආන්ගන් කි (1978) චිත්‍රපටයේ හොඳම සහය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය

පද්ම ශ්‍රී කලා ක්ෂේත්‍රයේ සම්මානය (1992)

ෆිල්ම්ෆෙයාර් උපහාර සම්මානය (2002)

ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය (අයි එම් පී පී ඒ) ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට ඇයගේ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් පරේක්ට උපහාර දැක්වීය (2003)

කලාකර් සම්මාන – ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය (2004)

ඉන්දියානු සිනමාවේ කැපී පෙනෙන ජයග්‍රහණ සඳහා ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන (2006)

සප්තරං කේ සප්තාෂී සම්මානය (2006)

උතුරු ඇමරිකානු ගුජරාටි සංගමයේ (ජී ඒ එන් ඒ) පළමු ජාත්‍යන්තර ගුජරාටි සම්මේලනය – ජීවිත කාලය සඳහා වන සම්මානය (2006)

පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – ජීවිත කාලය සඳහා වන සම්මානය (2007)

නිව්යෝර්ක් හි ලෝන්ග් අයිලන්ඩ් හි නවවන වාර්ෂික බොලිවුඩ් සම්මානය.(2007)

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයෙන් (එෆ් අයි සී සී අයි) ජීවමාන පුරාවෘත්ත සම්මානය.

ඉන්දියානු චිත්‍රපට සම්මේලනය එහි ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයේදී (2008) පරෙක්ට ගෞරව කළාය.

“සාරවත් කාන්තාවක්” වීම වෙනුවෙන් සහ්‍යාද්‍රි නවරත්න සම්මානය (2008)

ඒබීඑන් ඇම්රෝ සොලිටෙයාර් නිර්මාණ සම්මාන ප්‍රදර්ශනයෙන් (2008) සොලිටෙයාර් ෆෝ ලයිෆ් සම්මානය

නාසික් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – ජීවිත කාලය පුරාම ජයග්‍රහණ සම්මානය (2009)

නර්තනයට සහ රංගනයට පරෙක්ගේ දායකත්වය වෙනුවෙන් ‘ලච්චු මහරාජ් පුරස්කාර්’ සම්මානය (2009)

හින්දි සිනමාවේ වසර 50ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් 40 වන ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී පරෙක්ට උපහාර දැක්වීය (2009)

අමරණීය මතක ඉසව්වෙන් (2009) ‘ලෙජන්ඩ්ස් ලයිව් ෆොඒවර් සම්මානය’

ගෝල්ඩන් ලෝරල් සම්මානය – නවවන ශ්‍රේණියේ 8 වන කාන්තා ජයග්‍රාහක සම්මාන (2010)

ප්‍රකාර්ති රතන් සම්මානය (2010)

ජයිපූර් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – ජීවිත කාලය පුරාම ජයග්‍රහණ සම්මානය (2011)

ආශ්‍රම කලා ඇකඩමිය විසින් පිදූ භිෂ්ම සම්මානය (2012)

කලාකර් සම්මාන – ජීවන පුරාවෘත්ත සම්මානය (2018)

“වෝක් ඔෆ් ද ස්ටාර්ස් ” ගෞරවය, එහිදී ටයිල් එකක් ඇගේ අත් සලකුණ දරයි. (2013)

ස්ටාර් ඩස්ට්-ජීවිත කාලය සඳහා වන ජයග්‍රහණ සම්මානය (2015)

වඩාත්ම විලාසිතාමය ජීවිත කාලය සඳහා වන විලාස නිරූපක සම්මානය – හින්දුස්ථාන් ටයිම්ස් වඩාත්ම විලාසිතාමය සම්මාන (2017)

5 වන වාර්ෂික පූනේ ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලේදී (පී අයි එල් එෆ්) (2017) .ඇයගේ මතක සටහන් “ද හිට් ගර්ල් ” සඳහා දෙවන හොඳම පොත් සම්මානය

බිමල් රෝයි අනුස්මරණ ජීවිත කාලය සඳහා වන සම්මානය (2019)

ගෝලීය සිනමා උළෙල-ජීවිත කාලය සඳහා වන සම්මානය (2020)

ඉහළම සිනමා සම්මානය වන දාදාසාහේබ් ෆාල්කේ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඇය මේ වන විට 83 වන වියේ පසුවන අතර සිය සැදෑ සමය ඉතා සුවයෙන්, සමාජ සේවයේ යෙදෙමින් සහ ඇයගේ සමීපතම මිතුරියන් වන වහීදා රෙහෙමාන් සහ හෙලන් සමඟ කාලය ගත කරමින් ඔවුන් එකතුව සංචාරයන්හි යෙදෙන අයුරු සහ සාදයන් පවත්වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ද දැකගත හැක.මීට අමතරව ” කරා භවන්” නමින් නර්තන ඇකඩමික් පිහිටුවා ඇත.පසුගිය වසර කිහිපය තුළ ආශාට ඇයගේ සමීපතම මිතුරියන් දෙදෙනෙකු වන නන්දා සහ සාධනා යන නිළියන් අහිමි විය.

ඉකුත් වසරේ ඇයට සෞඛ්‍ය ගැටලුවකට මුහුණදීමට සිදුවිය.එහිදී ඇය රෝහල් ගතවී වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය.පරීක්ෂණවලින් අනාවරණය වූයේ පිත්තාශයේ ගලක් ඇති බවයි.නමුත් ඒ අවස්ථාවේ ශල්‍යකර්මයකට භාජනය වීමට අවශ්‍ය නැත යනුවෙන් ඇය පවසා තිබුණා.ඇය සෞඛ්‍ය පුරුදු පිළිපඳීමින් සීමිත ආහාර වේලකට අනුගත වී ඇත.තෙල් සහ ගිතෙල් අනුභව කිරීම ඇය සම්පූර්ණයෙන්ම අත්හැර තිබේ.ඇයගේ ගමන් බිමන් ද සීමා සහිත වී ඇත.

ඇයගේ උපන්දින ප්‍රාර්ථනාව නිරෝගීව සිටීම බව ඇය පැවසීය.තදාසන්න මුම්බායි නගරයේ තනිකඩව සිටින ඇය ඇයගේ සුඛෝපභෝගී තට්ටු නිවසේ ජීවත් වේ.වර්තමානයේ ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර මහජනතාව අතර සැමවිටම අලංකාරව සහ ගාම්භීරව පෙනී සිටී.

පිටපත : වසුන්දරා කුමාරි ධර්මරත්න

 

 

 

 

 

 

 

 

loadmoduleid 150

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4