මං ප්‍රංශයේ වැටුපක් ලබන නළුවෙක්
– ජීවිතයේ ජීවත් කරන්නේ අපේ සිතුවිලි
– රිද්දන්න රිද්දන්න අපි ඇඬුවා නම් අපේ ගමන එතනමයි
– රති ගෙනත් හිරකරනවිට මට ඇත්තටම දැනුණේ ඒ තුළ සැබෑ මිනිසුන්ගේ හඬ පමණයි
– මට ලංකාවේ සිනමාවට සතුටින් දෙයක් දුන්නා කියලා දැන් හිතන්න පුළුවන්
– දුස්රා නිෂ්පාදකවරයා ලෙස මම නිෂ්පාදකවරයෙක්ගෙන් විය යුතු කාර්යභාරය පමණයි ඉටු කළේ
මේ සල්ලි ඔක්කොම අපි දෙන්නට, එහෙනම් හතරෙන් තුනක් මට, හතරෙන් එකක් ඔයාට, හා ඒකටත් එකඟ නැත්නම්, සීයට පනහා පනහ අරගමු, මට සල්ලි නෙවෙයි ඔනි. මට ගෙදර යන්නයි. ජුඩ් අයියා අපි ආපු පෝට් එක හරි එහෙනම්,
තෝත් එහෙනම් ලොකු කාසිකාරයෙක් වෙලා නොවේද බොල? තොට කොයින්දෑ ඔය තරම් කාසි?පුටුවක් පුරවන්ඩ සුළුපටු ගාණක්ද? ජුඩ් ඉස්තෝප්පුවේ එහෙටත් මෙහෙටත් ඇවිද්දේ තරමක් උස් හඬින් කියවමිනි. ඔහු කට හඬේ වූ කෝපය ඉරිසියාව සඟවා ගැනීමට බොහෝ වෑයම් දැරීය. කොහේදේ සිට පැමිණි කරිජ්ජ කොල්ලෙකු තමන් හා සම වීමට ප්‍රයත්න දැරීම කෙසේ නම් ඉවසා සිටින්නද? දොර අගුළුලා රතිගේ සුවය වින්දත් මුදල් ඔහුගේ සාක්කුවට ගියේ නැත. හොර රහසේම කරත්තයක් ගත්තා මදිවාට මූ දැන් මගේ කරත්ත නඩයට උගේ කරත්තයක් එකතු කරගන්නයි හදන්නේ. ෆෝන් එක හරහා පණිවිඩ යවන්නේ. ගමේ සිට ටවුමට එනකොට කරිජ්ජ සුවඳවත් දැනගෙන නොසිටි ඌ ගෙනා කරත්තයේ රෝද දෙක පළල් කර අනුන්ට බඩු විකුණන මුදලාලි කෙනෙක් විය. මෙය සිංහල රජ කාලයේ සිදුවූවා නම් මුව උල තියන්න තිබිණි. එහෙත් දැන් තියෙන්නේ සුද්දාගෙනා ආණ්ඩුවය. උන්ගේ පාලනය ඇතුළේ ඕනෑම කෙනෙකුට කාසි හම්බ කිරීමට පොහොසත් වීමට තහනමක් නැත. මොකක් හෝ ගැටයක් ගසා එවැනි උන්ගේ ගමන නවත්තන්නට ඉස්සර මෙන් දැන් බැරිය. ජුඩ්ගේ, ගෝර නාඩුවක් නොවූ ගෝරආණ්ඩුව තුළ තිබුණේ මේ කල්පනාවය. විය සිදුරෙන් කන කැස්බෑවා එළිය දකින දාට එදාටත් සඳ අමාවකය වූවා මෙන් ජුඩ්ගේ පිස්තෝලයෙන් නයින් නෝට් නයින් පතුරමින් ලකී බිම ඇදගෙන වැටුණේ රුහිර ධාතුවත් පොළෝ තලයේ ගලායාමට සලස්වමින් රතිගේ ගමන මින් පසු කෙසේ සිදු වෙයිද කියා සිතාය. ඇස පසාරු කරගෙන සිංහයා බිම වැටෙද්දී. කටු කන බල්ලෝ හිස් ලූ ලූ අත දිව්වේය. ගහ කොළ සුවඳ අඳුනන්නට රති ගම සොයා එයි. ලකී ගේ නිසල දේහයට කෙසේ සිදුවූවාදැයි, කිසිවකුටත් සිතාගැනීමට නොහැකි විය,නීතිය අවනීතියක් වන යුගයක,සදාචාරය දුරාචාරයක් ලෙස දකින සමාජයක,ජීවන අරගලයට මුහුණ දෙන රති වැනි චරිතයක්, මිල කරන්නට දඟලන ලකී වැනි මනුස්සයෙක්, මේ සමාජයේ නොසිටිනවා නොවේ, රතිටත් වැඩිය ලකී ගේ ජීවිත කතාව මීට හාත්පසින්ම වෙනස්ය, වසර තිස්පහක් පදිංචියද වසර විසි හතරක් ප්‍රංශයේ රංගන ශිල්පියෙකු ලෙස ජීවත් වන ඔහු. අන්තර්ජාතික මට්ටමින් කතා බහට ලක්වන, ලාංකික ප්‍රංශ රංගන ශිල්පියකුය.ප්‍රංශය පුරා වසර විසි හතරක් සිනමාව සහ ටෙලි නාට්‍ය කලාවේ ආදරයෙන් වැලඳ ගන්න චරිතයකි. එකල මාතර මධ්‍ය මහා විද්‍යාලයේ පාසලේ ළමුන් අතර සුදු වර්ණයට නාට්‍යයට මුල් තැන දෙන යුගයක ප්‍රංශයේදී කලුහමට ලැබුණේ මුල් තැනය. ඒ ලැබුණු මුල් තැනින් ඔහු අද ලාංකික නාමය පමණක් නොව දකුණු ලකටම ජය කෙහෙළි නැංගුවේය. අද ප්‍රේක්ෂක ජනාදරය අතර කතා බහට ලක්වන දුස්රා සිනමාපටය ලකී ගේ චරිතය ජීවත් කරවන හා නිෂ්පාදන භූමිකාව වන ලක්ෂාන් අබේනායක සරසවිය සමඟ කළ කතාබහයි.
මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ජීවිතය සුන්දරයි නේද.?
ජීවිතයේ ජීවත් කරන්නේ අපේ සිතුවිලි කියන එක මම හැමදාම හිතනවා. අපිව වට්ටන්න වට්ටන්න අපි නැගිටිනවා කියන එකත් ශක්තිමත් කියන එකයි. පාසල් යන කාලයේදී මම වේදිකා නාට්‍යය කළා තමයි. ඒත් දක්ෂතාවයේ තියෙන මට හැමවෙලේම ලැබුණේ කුඩා චරිතයි. එතනදී ඔවුන් තෝරාගත්ත සංකල්පය වුණේ සුදු පාට හම තියෙන සියලු දෙනාට ප්‍රධාන චරිත ලැබුණා. ඒත් මම කවදාකවත් කළුයි කියලා මම හිතුවේ නෑ මම හිතුවේ චරිතයට චරිතයක් විය යුතුමයි කියන එක පමණයි. මෙහෙම ගිහිල්ලා සමස්ත ලංකා මට්ටම දක්වා අපි කරපු වේදිකා නාට්‍යය ඉදිරිපත් කළා. ඒ පාසල් කාලයේදී දක්ෂතාවයන් පෙන්නලා සහතික සම්මානත් ලැබුණා. ඒ පන්නරය තමයි මට ලැබුණේ අවුරුදු විසි හතරක් පුරාවටම ප්‍රංශයේ නළුවෙකු ලෙස ජීවත් වෙන්න. කපන්න බැරි අත ඉඹින්න එන යුගයක් ඒ වක වානුවේ තිබුණා. මගේ ජීවිතයේ මම රිද්දන්න රිද්දන්න මම හිනාවුණා. රිද්දන්න රිද්දන්න අපි ඇඬුවා නම් අපේ ගමන එතනමයි. මගේ පාසල් කාලය මට සුන්දරයි කියල දැනෙන්නේ ඒ නිසයි.
ඔබේ ජීවිතයේ පන්ති පහ කියන්නේ මොකද්ද?
අපිට අපේ කියලා නිර්මාණ කලාවක් තිබුණා නම් අද අපි දියුණු තැනකයි ඉන්නේ. ජීවත්වන මිනිසුන් පීඩනයට පත්වෙලා ඔවුන් තලා පෙළා දානකොට ඒ යුගයේ අපි අසරණ වෙනවා. මගේ අතේ දුරින් රුහුණු විශ්වවිද්‍යාලයේ පිහිටලා තිබුණත්, සරසවියට ආයුබෝවන් කියන්න මට යුගයක් තිබුණා. ඒ නිසා අසූඅට අසූ නවය කාලවකවානුවේ පන්සලේ බුදුපිළිමෙට පිටුපස්සෙන් පන්ති පහ කරන්නට වුණා. යාන්තම් පන්ති තුනක් ඉවර කරගත්තා. අකමැති ගොනෙක් කරත්තයට බැඳපුවාම වූ බර අදින්නේ නැහැ.ඒකවත් තේරුම් ගත්තේ නැති යුගයක තමයි මට ජීවත් වෙන්නට වුණේ. ජීවිතය හරිම අවිනිශ්චිත භාවයකැයි ජීවත් වුණේ. තරුණයකුගේ හොඳම කාල හෝරාව එළඹෙන විට ඔහු විලංගු දමා සිරගෙට දානකොට ඔහුගේ ජීවිතය මරා දමා අවසන්. උදේට රෑට හැංගිලා පාසල් ගිහිල්ලා වෙනත් වෘත්තිකයකු වීම හා නළුවකු වීමේ සිහිනය මට කවදාක්වත් සැබෑ කරගන්න බැරි බව මම තේරුම් ගත්තා. ඒනිසා මම අනූවේ අග භාගයේ බලෙන් කාවද්දන්නට ගෙනා පන්ති පහටත් ආයුබෝවන් කියා රටින් පිටව ගියා. පවුලයා බාලයා වෙච්චි මම ගැන අම්මා සහ තාත්තා බලාපොරොත්තු අහස උසට බැඳගත්තා. බලාපොරොත්තුව බලාපොරොත්තුවක් බවටම පත් කර ගනිමින් මාව ඇදවට්ටන්නට හදපු සියලු දෙනාටම පිළිතුරක් දෙන්නට මම මගේ ජීවිතයෙන් මම ජය ගන්නවා කියන අධිෂ්ඨානය ඇතුව මම ජීවත් වුණා.එදා මට වද දෙන්න වද දුන්න මිනිස්සු අද මාව දිහා බලලා යමක් කියන්න තැනක් මම ගොඩනැඟුවා. හොඳම කාලවකවානුවේ මම රට අත හැරලා ප්‍රංශය බලා යෑම මගේ ජීවිතයේ ජීවත් කරා කියලා කියන්න පුළුවන්.
ඔබ ඔබේ මව් රට ලෙස සලකන්නේ මොකක්ද?
මගේ පළමු මව් ලංකාවයි මගේ දෙවන මාව ලෙස මම හැමදාම සලකන්නේ ප්‍රංශයයි. අද මම දෙපයින් හිටගෙන මුළු ලෝකයක් ඉදිරියේ ලොවට මම ලක්ෂාන් අබේනායක කියලා හඬ ගා කියන්න පුළුවන් වුණේ ප්‍රංශය නිසයි. වයස අවුරුදු විසි ගණන්වලදී ප්‍රංශය බලා ගිහින් වසර තිස්පහක් ප්‍රංශයේ ජීවත් වෙනවා කියන එකත් ලේසි නොවේ. මගේ සියලු සිහින සැබෑ කරන්නේ ප්‍රංශයේ මව්රටයි. නමුත් ලාංකිකයෙක් කියන නාමය යටතේ ජීවත්වීම හරිම ගෞරවනීයයි කියලා මට දැනෙනවා. ඒ නාමයට ගෞරව කරන්න මට කාල වකවානුව එළඹිලා කියලයි මම දැන් හිතන්නේ. එදා මට උන දේ මා යටතේ ඉන්න කිසිවකුට වෙන්න තියන්නේ නෑ කියලා මම හැමදාම කියනවා.
අනූව දශකයේ ප්‍රංශයට ගිය විට මොන වගේ ගැටලු වලටද මුහුණ දුන්නේ ?
මම මුලින්ම ගිහිල්ලා උත්සාහ කළේ භාෂාව ඉගෙන ගන්නයි. භාෂාව ඉගෙන ගන්න ගමන් පොඩි පොඩි රැකියාවල් කළා ජීවත්වෙන්න. දවසේ වැඩි හරියක් භාෂාව ඉගෙන ගන්න ඕන නිසා ටීවී බලනවා ලැබෙන හැම වෙලාවකම. ඒක මගේ පුරුද්දක් බවට පත්වුණා එහිදී. කොහොම හරි මම භාෂාව ඉගෙන ගත්තා මේ ආකාරයෙන්. මේ කාල වකවානුවේ මට ප්‍රංශ ජාතිකයන් ගොඩක් උදව් කළා. ඒ අතර ප්‍රංශයේ මිලියන 12 ක් නරඹන “හෙලන් ඇන් ද බෝයිස්” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා මට ප්‍රංශ ජාතිකයකු මුණගැස්සුවා. ඔහු සමග යෙදුණු පිළිසඳරකදී මට මේ ටෙලි නාට්‍යයේ චරිතයක් දෙන්න ඔහු පොරොන්දු වුණා. මගේ හමේ පාට තියෙන ඔහු සොයන චරිතයට මාව ගැළපෙනවා කියලා තමයි ඔහු මට කතා කළේ. ඔවුන් කිසි දිනක කතා කළ පළියට නළුවෙකු ලෙස තෝරාපත් කරගන්නෙත් නැහැ. මම ඉල්ලීමක් කළා මේ දෙන්න යන චරිතයට මම ගැළපෙනවද කියලා තිර පරීක්ෂණයක් කරන්න කියලා. ඒ තිර පරීක්ෂණය තුළ තිබ්බේ භාෂාව පිළිබඳ ප්‍රශ්නය පමණයි. ඒ සියලු දේවල් පසෙකින් තබලා මාව ඔහුගේ ටෙලිනාට්‍ය චරිතයට තෝරා ගත්තා. ඒත් මගේ ඉල්ලීම පරිදි මට ඔවුන්ගේ නළු නිළියන් පුහුණුවන රංගන පාසලක රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරන්නට අවස්ථාවක් දෙන්න කියලා කිව්වා. ඒ සිහිනය සැබෑවීම තුළින් ඒ පාඨමාලාව නිමා කරලා එළියට එන විට මට දැනුණේ ඇත්තටම මම නළුවෙක් කියන එක පමණයි. මේ මම ඉගෙනගත්ත පාසලේන් ඔස්කා සම්මාන ලාභීන් බහුතරයක් බිහි කරලා තියෙනවා.
පාඨමාලාවෙන් පස්සේ මම “හෙලන් ඇන් ද බෝයිස් වසර දහතුනක් පුරාවට කැරිබියන්ස් අයිලන් ගිහිල්ලා රඟපාන්නඅවස්ථාව ලැබුණා. මේ ගමන තමයි මගේ ජීවිතේ වෙනස් කරපු ලොකුම හැරවුම් ලක්ෂ්‍යය ලෙස මම දකින්නේ. ලෝකයම කතා කරපු ශොක් දී චිත්‍රපටයත් මට රඟපාන්නට අවස්ථාව ලැබුණා. ප්‍රශ්න ගැටලු රාශියක් මැද ආපු වසර තිස් පහක ප්‍රංශ ගමනේදී අද මට මාව නිර්මාණයකට ගැනීම තීරණය කරන ඕනැම කෙනකුට මගේ කළමනාකරු හරහා සම්බන්ධ විය යුතුයි. එවැනි තැනකට අද එන්න මම ගොඩක් මහන්සි උන නිසයි. එය මම ආපස්සට හැරිලා බලන විට මගේ ගමනේ සතුටු වෙන්න පුළුවන් දවසක් කියලා හිතන්න පුළුවන්ය. මේ වන විට මම අද ප්‍රංශයේ විශ්‍රාමික වැටුපක්ද ලබන නළුවෙක් වුණා.
ඔබේ ගමන වෙනස් කරන්න කියල හිතුණේ මේ දුස්රා නිෂ්පාදනය හා රංගනය සමඟද?
මම ජීවිතේ කවදාකවත් ජනප්‍රියත්වය පසුපස හඹා ගියේ නැහැ. මම කවදාකවත් තීරණය කරල නෑ මේ වකවානුවේ මෙන්න මෙදා මගේ ජීවිතේ වෙනස් කරනවා කියලා. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ වෙන්න ඕන කාල නිර්ණය අනුවයි. ඒක මම හිතන විදියට සමහර විට ස්වභාව ධර්මයා විසින් සිදු කරනවා කියලයි මම දකින්නේ. අපි කිසිවකුට ස්වභාව දහමෙන් දෙන දේවල් අතපසු කරන්නවත් හැරදා යන්නවත් බැහැ. මේ සිනමා පටයේ තිර පිටපත ගැන කතාකරන්නේ චන්නත් මමත් දිගු කාල සීමාවක් තුළදීය. ඒ අපි දෙන්නගේ මිත්‍රත්වයේ බැඳීම නිසයි. චන්නගේ පිටපත බලලා අපි එක තැනකට ආවා සමාජයේ කතා කරන්න ඕන ප්‍රශ්නයක නිර්මාණයක් ලෙස තිරයට ගේනවා කියන ස්ථාවරයට. එහෙම තමයි දුස්රා සිනමාපටයක් ලෙස තිරයට එන්නේ. මංගල දර්ශනයට ඉස්සෙල්ලා දුස්රා මාධ්‍ය දර්ශනය පැවැත්තුවා. එදා සියලු දෙනාම සිනමා පටයේ චරිත ගැන කතා කළා. ඒ චරිත අතර හිටපු කෙනෙක් තමයි ලකී කියන චරිතය. හැබැයි ලක්ෂාන් අබේනායක ගැන නෙවෙයි කතා කළේ ලකී කියන චරිතය ගැන පමණයි. ඒ වගේම එහි නිෂ්පාදකවරයා ලෙස ලක්ෂාන් අබේනායක කියන නම කියවුණා. මේවාගේ නිර්මාණයකට ඔබ වැනි කෙනෙක් දායක වීම ඇත්තටම අගය කරනවා. අපි සියලු දෙනාම ඒ වෙනුවෙන් උදව් කරනවා කියන වචන වලින් මම ගොඩක් සතුටට පත්වුණා. ගොඩක් දෙනෙක් නිර්මාණයේ ගුණාත්මක භාවය වෙනුවෙන්, සිනමාත්මක නිර්මාණයක් කියන හැඟීම මත නිර්මාණය වෙනුවෙන් උදව් කරන්න සූදානම් වෙනවා. මම හිතන දකින විදිහට හොඳ නිර්මාණයක් ලෝකයේ බිහි වෙනවා නම් ඕනෑම නිර්මාණවේදියෙකුට තමන්ගේ ගමනට උදව් කරන අය ඉන්නවා. හැබැයි මම නිෂ්පාදකවරයා රංගන ශිල්පියා කියන පදනම මත ජනප්‍රියත්වය හොයාගෙන යන්නේ නැහැ කවදාවත්. මගෙන් මගේ මව් රටට යමක් කරන්න කාල වකවානුව දැන් එළඹිලා කියලා හිතනවා.
ඔබෙන් මේ රටට වෙන්න ඕන කියලා හිතන්නේ?
මම රංගන ශිල්පියෙක් ලෙස ලාංකික සිනමාව හා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා හිතුවා. ඒත් මම නළුවෙක් ලෙස මෙහි රංගනයේ යෙදෙන්න කිසිසේත්ම කැමැත්තක් නැහැ. මගේ කාලවකවානුව ඉවරයි. මට අවශ්‍යය දක්ෂතාවයන් තියෙන පිරිසක් ඉදිරියට ගෙනල්ලා ක්ෂේත්‍රය තුළ හොඳ බීජ රෝපණයක් කරන්නයි. චන්නත් එක්ක එකතුවෙලා මම දුස්රා නිෂ්පාදනය කළාට පස්සේ. සිනමා පටය නරඹලා ප්‍රේක්ෂකයන් ලබපු තෘප්තිය හා වින්දනය හැමදාම ඒ ජනතාවට දෙන්න පුළුවන් නම් කියල මට හිතුන වාර අනන්තයි. දුස්රා සිනමා පටයට ඉස්සෙල්ලා මම තව සිනමා පටයක් නිර්මාණය කරලා තියෙනවා.ඒ සිනමා පටය දුස්රා සිනමාපටය තිරගත වීමෙන් පසු තිරගත වීම ඇරඹීමට නියමිතයි. එනිසා මගේ අදහසක් තියෙනවා සිනමාපට කිහිපයක්ම නිර්මාණයෙන් දායක වෙන්නත්, කොහොම නමුත් මේ හැම දෙයක්ම සිදුවෙන්නේ කාලවකවානු යෙදෙන විදිහට තමයි. දුස්රා නිෂ්පාදකවරයා ලෙස මම කිසිසේත්ම මේ වැඩ කරපු ටීම් එකට නිෂ්පාදකවරයෙක්ගෙන් විය යුතු කාර්යභාරය පමණයි ඉටු කළේ. නිෂ්පාදකවරයාගේ භූමිකාවෙන් ඈත් වෙලා මම හැමවෙලේම කටයුතු කළේ රංගන ශිල්පියා කියන භූමිකාව පමණයි. මගේ කැමැත්ත තියෙන්නෙත් රංගන ශිල්පියා කියන භූමිකාවට පමණයි. අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතාවය මත තමයි සියලූම කාර්යභාරයන් සහ නළු නිළියන් තෝරා ගැනීම් සිට සියලු දේවල් සිදුවුණේ. ඒ නිසා නිෂ්පාදකවරයෙකු ලෙස මට ලොකු පහසුවක් සිදුවුණා.
සම්මානනීය කැමරා අධ්‍යක්ෂකවරයකු වන චන්න අධ්‍යක්ෂකවරයකු ලෙස ගේන්න හිතුවේ ඇයි ?
චන්න කියන්නේ කැමරාවෙන් ලෝකය දකින විදිය මම කාලයක සිට දකිනවා. චන්න කැමරා අධ්‍යක්ෂකවරයෙක් වුණාට ඔහු දක්ෂතාවන්වලින් පිරිපුන් මනුෂ්‍යයෙක්. මනුෂ්‍ය ගුණාංග වලින් උතුම් මනුස්සයෙක්. කැමරා අධ්‍යක්ෂකවරයෙක් සහ වෙනත් ඕනෑම වෘත්තිකයෙක් තමන්ගේ ඒ වෘත්තියම නියැළිලා ඉන්න ඕන කියලා තීරණයක් නැහැ. එයින් ඔබ්බට පැනලා ඔහුගේ ගමන් තීරණය කළ යුතුයි. වෙනත් කැමරා අධ්‍යක්ෂකවරුන් දකින කෝණ වලින් නෙවෙයි ඔහු රූප රාමු දකින්නේ. ඔහු එක සමාජයක් නියෝජනය කරන පුද්ගලයෙක් නොවේ. ඔහු සෑම සමාජයක්ම නියෝජනය කරනවා ඔහුගේ ඇස තුළින්. ඒ දේ කිසි කෙනෙකුට කළ නොහැකි බව මම දන්නවා. සිනමාව ගැන අවබෝධයක් තියෙන සිනමාව දකින්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් බිහි වෙනවා කියන්නේ කලාතුරකින්. ඒ නිසා නව පරම්පරාවක් නිර්මාණාත්මක ලෙස බිහිවිය යුතුයි. ඒ මාවතේ යන නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයෙක් ලෙස තිර පිටපත් රචකයෙක් ලෙස මම ඔහු දකින නිසා තමයි අපි එකතුවෙලා මේ නිර්මාණය කළේ. තිර පිටපත් රචකයෙක් කැමරා අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් යන දක්ෂතාවලින් ඔහු පරිපූර්ණයි.
ලකී ගේ චරිතය හැම වෙලේම ප්‍රේක්ෂකයාට කුතුහලය ගේන තැන ඉන්නේ ?
මේ පිටපත මගේ අතට ලැබෙන විට හිතපු චරිතය නෙවෙයි මම රංගනයට එකතු වන විට තිබුණේ. ඒ බව දැනගෙන හිටියා නම් මම වෙනත් චරිතයක් කරනවා. අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය නිසා ලකී කියන චරිතය හැමවෙලේම කුතුහලය ගෙනාවා.ප්‍රධාන භූමිකාව බවට පත්වුණා. ලකී රතිට ආදරය කරන්නේ සැබැවින්ම නොවේ. ලකී ජීවත් වෙන්න ඕන කියන පදනම හිත තුළ තබාගෙනයි. හැඟීම් පසෙකලා මුදල ඉහළට එන යුගයක් බවට ඔහු පරිවර්තනය කර ගන්නවා. රති සහ අනිල් එකතු වී ගහන ගේම්වලදී දෙවන පෙළ බාරගන්නේ ලකී. මගේ චරිතය ගොඩක් තැන් අධ්‍යක්ෂකවරයා හැංගුවා රඟපාන්නට ඉස්සෙල්ලා. ඒත් ලකී කියන චරිතය රඟපාලා ඉවර වුණාට පස්සේ ප්‍රදර්ශනය වන විට මේකෙ බැරෑරුම්කම සහ එහි වගකීම කොපමණද කියලා මට හිතාගන්න බැරි වුණා. කාමාතුර පිරිමියන් තිදෙනෙකු ඉදිරියේ හැඟීම් යටපත් කරගෙන ඇයට ආදරේ කරන්නෙක් බව ප්‍රේක්ෂකයාට වටහා දෙන්නෙත් රතිට ලකී කොණ්ඩය සැකසීමත් කොණ්ඩාබෝලය දැමීමත් නිසාදැන් කවුරුහරි පිළිසරණට ඉන්නවා කියන පදනම ජනිත කරලයි. ඒත් ප්‍රේක්ෂකයා ලකී මැරෙනකම්ම දැනගන්නේ නෑ. මොකක්ද වෙන්නේ කියන එක. ඔවුන් ඇත්තටම හොයන්නේ රතිට මොකද වෙන්නේ කියන එක විතරයි. එවැනි රංගනයකට මාව ගේන්න තරම් අධ්‍යක්ෂකවරයා සමත් වුණා. මේ සිනමාපටය නරඹපු වෙනත් රටවල්වල ප්‍රේක්ෂකයෙනුත් බලා ඉන්නේ දෙවෙනි වතාවටත් ගිහිල්ලා නරඹලා රතිට මොකද වෙන්නේ කියන එක විතරයි.
ලංකා ඉතිහාසයේ සනිටුහන් කරන හොඳම ස්ථානයක තමයි රති ගෙනල්ලා හංගන්නේ?
මේ සිනමාපටය පුරාම දර්ශන තල ගණනාවක්ම තිබුණා. අනුරාධපුරේ ගල්ගමුව ප්‍රදේශය, කොළඹ ප්‍රදේශය, මහනුවර බෝගම්බර හිරගෙදර. ඇත්තටම රති හංගන්න ඕන තැන එතනද කියලා මට හිතුණ දරිද්‍රතාවය හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් වදින තරුණියක්, ජූඩ් සහ ඔහුගේ ගෝලයන් විකෘති කාමාසාවලින් වෙලිලා ඇය නිද්‍රාශීලී කිරීම, ඇය නැවත රැගෙන එන්නේ මුදල මත විකුණා කීයක් හරි හම්බ කරගන්න. රති ගෙනත් හිරකරනවිට මට ඇත්තටම දැනුණේ ඒ තුළ සැබෑ මිනිසුන්ගේ හඬ පමණයි. ඒ තුළ විවිධ අඳෝනා ඇහෙන්න පටන් ගත්තා. ඒ තුළ වැළලුණ මිනිසුන්ගේ කතාකරන අයුරු ගීත ගැයූ ආකාරය විවිධ අයුරින් ඔවුන්ගේ හඬ මුසුවෙන අයුරු දැනෙන්න ගත්තා. ඒ බිත්ති මත සටහන් වි තිබූ කවි පේළි, චිත්‍ර, තුළින් ඔවුන්ගේ පවුල් පසුබිම්වල කතා දුක්ඛ දෝමනස්ස කන් පිරවි අගුළු වැටුණා. ලාංකික නාමාවලියේ ප්‍රසිද්ධම පුද්ගලයන්ගේ හිරගත කරලා තිබ්බ කුටි මට ලකි නිසා බෝගම්බර බන්ධනාගාරයේ බලන්නට ලැබුණා. රති ගෙනත් ඒ කුටියක රඳවන විට ඇයට නැවත පණ එන්නට වතුර පොවා ශරීරයේ ශක්තිමත් වු ඇය එයින් පැන යන්නට දඟලන විට කුඩා සිදුරුවලින් අවට පරිසරයේ සිටින උන්ට කතා කරද්දි මට දැනුණේ සැබැවින්ම එහි ජීවත් වූ මිනිසුන්ගේ විලාප පමණයි. මම කියන්න ගිය ඩයලොග් පවා මට අමතක උණා. ඒ තරම් මම එහිදී සංවේදී භාවයට පත්වුණා. වරදවල් නොකර මේ කුටිවල කොච්චර ජීවිත ඉන්න ඇතිද කියලා සිය දහස් වාරයක් මම දර්ශන තලයෙන් මිදී එන විට හිතුවා. කන්ද උඩරට රාජ්‍යයේ කිසි දිනක නොමැකෙන සිහිවටන තිබෙන තැනක් තමයි බෝගම්බර බන්ධනාගාරය කියන්නේ. ඒ තරම්ම මගේ මනස ව්‍යාකූලත්වයට පත් කරපු දර්ශන තලයක් මේ සිනමාපටයේ තිබුණේ නැහැ.
අන්තර්ජාතික සිනමා උළෙලවල් කිහිපයක්ම නියෝජනය කළා නේද දුස්රා?
මොස්කවූ සහ කල්කටා සහ ඩකා සිනමා උළෙලෙ වල් නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. සිසුන්ට උගන්වන්නට හොඳ සිනමාපටයක් කියලා බෙන්ගල් සහ බංගලාදේශයෙන් ඉල්ලුවා. නිෂ්පාදකවරයෙක් ලෙස මම ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා අධ්‍යක්ෂකවරයා සමඟ එකතුවෙලා මෙවැනි නිර්මාණයක් කිරීම. ළමයින්ගේ අධ්‍යයනයටත් ගන්නවා කියන්නේ සිනමාත්මක හා හොඳ ගුණාත්මකභාවයෙන් තියෙනවා කියන එකයි. බංගලාදේශයේ බලපු වැඩි හරියක් කාන්තාවන් දෙපාර තුන් පාර බල්ලා තියෙනවා රතිට මොකද වෙන්නේ කියන එක හොයන්න. මේ සිනමා පටිය වැඩි හරියක් නරඹන්නේ කාන්තාවන්. ඒක අද හොඳ ප්‍රවණතාවයක් කියලා කියන්න පුළුවන්. මේ සිනමා උළෙලවල් නියෝජනයෙන් පස්සේ ක්‍රෝයේසියා, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය ඉදිරියේදී එංගලන්තය සහ කැනඩාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
IMDB හරහා ඔබ ගැන සෙව්වේ මොන පදනමක් මතද?
දුස්රා සිනමාපටය අපි ඉතාලියේ සිනමා උළෙලක් නියෝජනය කරන්න යවලා තියෙන්නේ. මේ සිනමා පටයේ නිෂ්පාදකවරයා හැටියට ඔවුන් මට කතා කළා. එහිදී ලකී කියන චරිතය ගැන තමයි විශේෂ අවධානයක් යොමුකරලා කතා කළේ. මේ සිනමා නියෝජනයදි ඔවුන් විශේෂයෙන් කටයුතු කරන්නේ විද්‍යුත් තැපෑල හරහායි. එහිදී මම ගැන අයි.එම්.ඩී.බී හරහා මම ගැන හොයලා තියෙනවා කවුද කියන එක. එහිදී ඔවුන්ට හොයාගන්න ලැබිලා තියෙනවා මම කවුද මොනාද කරන්නේ? මොන රටේ සිනමා නිර්මාණවලද රඟපාලා තියෙන්නේ කියන සියලු විස්තරත් එක්ක තමයි මට කතා කරන්නේ ඔවුන්ගේ සිනමා උළෙලේ ජූරිසභිකයකු ලෙස ජූරිය නියෝජනය කරන්නට එන්න කියලා. දුස්රා සිනමා පටය නිසා මට ලැබිච්ච දේවල් ගොඩයි කියලා මට හිතෙනවා. විශේෂයෙන් ලංකාව නියෝජනය කරන රංගන ශිල්පියෙක් හැටියට යන පළමු නියෝජිතයා මමයි. ඒක ලංකා සිනමා ක්ෂේත්‍රයට හොඳ සලකුණක් බවට පත් වෙයි කියලා මම හිතනවා.මේ වන විට ඔවුන් සිනමා උළෙලේ නියෝජනය සඳහා තෝරාගෙන ඇති සිනමා පට සියල්ලම නරඹන්නට මට නම් ලිස්ට් එක එවලා තියෙනවා. මේ දිනවල ඒ වෙනුවෙන් මම සූදානම් වෙනවා දුස්රා සිනමා පටය ප්‍රදර්ශනය වන අතරතුරේ. පසුගිය දින දුස්රා ප්‍රදර්ශනයත් සමඟ හොඳ ප්‍රතිචාර සිනමා පටය වෙනුවෙන් ලැබෙනවා. නිෂ්පාදකවරයා ලෙසත් රංගන ශිල්පියා ලෙසත් මට පුදුම සතුටක් ඒ වෙනුවෙන් දැනෙන්නේ. මට ලංකාවේ සිනමාවට සතුටින් දෙයක් දුන්නා කියලා දැන් හිතන්න පුළුවන්. මේ වගේම හොඳ නිර්මාණයක් ඉදිරියේදී මගේ එන්න තියෙනවා. ඒකත් රස විඳීන්න කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරෙන් ඉල්ලනවා.
පිටපත :
නිශ්ශංක විජේරත්න