මරණයේ ආගමනය

  

බොලිවුඩ් මසාලා සිනමාව ඇතුළේ කාලෙන් කාලෙට විවිධ මාතෘකා ගැන කතා වෙනවා. හැබැයි ඒ හැම එකක්ම වට්ටෝරු ගණයේ ආදර කතා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඒ නිසා ප්‍රේක්ෂකයින් බොලිවුඩ්වලින් වෙනසක් බලාපොරොත්තුවෙන කාලයක් තමයි මේ. ඔන්න ඒ වෙනසට පිළිතුරක් පහුගිය දවස්වල ධර්මා ප්‍රඩක්ෂන් වලින් අරගෙන ඇවිත් තිබුණා. ඒ තමයි කිල්. නිකිල් නාගේෂ් බාට් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කිල් ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් විදිහටයි ප්‍රේක්‍ෂකයින් අතරට එන්නේ. කරන් ජෝහර්, ගුනීත් මොංගා, අපූර්ව මෙහෙතා සහ අචින් ඡේන් විසින් නිෂ්පාදනය කර තිබෙන කිල් ඕ.ටී.ටි ෆැලැට්ෆෝර්ම් එකේ රිලීස් කරන්න නිෂ්පාදක කණ්ඩායම කටයුතු කළා. 2023 වසරේ නිකුත් කරන්න තිබුණත් 2024 වසර වෙනකල් චිත්‍රපටය ප්‍රමාද කරන්න වුණේ වැඩි තරඟකාරීත්වයක් නැතිවම එළියට දාන්න හිතපු නිසා.

සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කර තිබෙන කිල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ලක්ෂ්‍යා කියන නවක නළුවා විසින්. මේක ලක්ෂ්‍යාගේ පළමු සිනමා නිර්මාණය. මින් පෙර ඔහු ජනප්‍රිය වුණේ ඉන්දියානු ටෙලිනාට්‍ය සහ මෝස්තර නිරූපණය යන අංශයන් වලින්. ලාක්ෂ්‍යාට අමතරව මෙහි රාගව් ජුයාල්, අශීෂ් විද්‍යාර්ථි, හර්ෂ් චහයා, ටාන්‍යා මනික්තලා සහ අභිෂේක් චව්හාන් සෙසු චරිත රංගනයෙන් දායකවනවා. ටොරන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේ මුල්වරට තිරගත වූ කිල් ජනතා තේරීමට හිමි දෙවන සම්මානය හිමිකරගත්තා. කිල් ආයෙමත් ටි්‍රබිකා සිනමා උළෙලේත් තිරගත වුණේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසයි. කොහොමහරි විචාරකයින්ගේ අවධානය දිනාගත්තු කිල් ප්‍රේක්ෂකයින් අතරට ආවේ 2024 ජූලි 5 වෙනිදා.

කතාවේ හැටියට අම්රිත් රතෝඩි කියන්නේ හමුදා නිලධාරියෙක්. ඔහුගේ පෙම්වතිය තමයි තුලිකා කියන්නේ. තුලිකාගේ තාත්තට ඕනිවෙනවා ඇයව වෙනත් කෙනෙකුට කසාද බන්දලා දෙන්න. ඒ නිසා අම්රිත් තුලිකාව එක්ක යන්න එයාල ඉන්න තැනට එනවා. කොහොම වුණත් අමිරිත්ට තුලිකාව අරගෙන යන්න ලැබෙන්නේ නැහැ. ආයෙමත් මේ දෙන්න මුණගැහෙන්නේ කෝච්චියේදී. කෝච්චිය ඇතුලේ මාෆියා කල්ලියක් මගීන්ව ප්‍රාණ ඇපයට අරගෙන ඔවුන්ගේ වටිනා බඩු බාහිරාදිය කොල්ලකන්න තමයි හදන්නේ. මේ අවස්ථාවේදී අම්රිත් සහ ඔහුගේ යාළුවා විරේෂ් මගීන්ව මාෆියා කල්ලියෙන් බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා. මේ මාෆියා කල්ලිය හරිම ප්‍රචණ්ඩකාරී පිරිසක්. ඔවුන් තුවක්කු භාවිත කරන්නේ නැතිව පිහි භාවිතා කරමින් තමයි පිරිස් බය ගන්වන්නේ.

කොහොමහරි මාෆියා කල්ලි නායකයාගේ පුතා අතින් නොසිතූ විදිහිට කිහිප දෙනෙක් මිය යනවා. ඊට පස්සෙ තමයි කතාව පටන් ගන්නේ. එතැන් පටන් සිනමාපටය පුරාවටම උද්වේගකර සටන් එක්ක ත්‍රාසය භීතිය අඩුවක් නැතිව ප්‍රේක්ෂකයින්ට තිළිණ කරනවා. මෙහි තිබෙන සමහර දර්ශන මින් පෙර කිසිදු බොලිවුඩ් සිනමාපටයකින් දැකල නැති දර්ශන. ඒ දේවල් ඒ තරමටම භයංකරයි සහ සිනමාපටයක උපරිම රසය ප්‍රේක්ෂකයින්ට ගෙන එනවා. ඒ නිසාම ඔබ මේ සිනමාපටය නැරඹිය යුතුමයි. මනස්කාන්ත ගීත කිහිපයක්ම ඇතුලත් කිල් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ කෙතන් සොඩා විසින්. අලුත්ම පිරිසකගේ වැඩක් විදිහට එළියට එන කිල් ප්‍රේක්ෂකයින් පුදුම කරන්නේ ඒ ආධුනිකබව පැත්තකින් තියලා.

මිනිත්තු 105ක් පුරාවටම තිරයේ දිගහැරෙන කිල්හි තිර රචනය සිදුකර තිබෙන්නේ අයේෂා සෙයිඩ් සහ නිකිල් නාගේෂ් බාට් විසින්. 2022 වසරේදී රූගත කිරීම් ආරම්භ කරපු කිල් චිත්‍රපටයේ ආරම්භක නම වුණේ ආගට්. නමුත් අවසානයේදී නිෂ්පාදක කණ්ඩායම මේක කිල් විදිහට නම් කරනවා. අහේතුකව මරණය දීපු මිනීමරුවන්ට කිසිම අනුකම්පාවක් නැතිව මරණයේ වේදනාව පෙන්වන කිල් වෙනස්ම හැඩයක් බොලිවුඩ්වලට අරගෙන එනවා. සමහර තැන්වලදී ඒ තරමටම දරුණු වෙන්නෙ නැතිව ඉන්න තිබුණා කියල හිතෙන තරමටම කිල් දරුණුයි. ඒ රහ බලන්න නම් ඔයාල අනිවාර්යනේම චිත්‍රපටය නරඹන්නම වෙනවා.

 පිටපත :

අමිල නුවන් මධුසංඛ 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4