Tom Cruise නවතම ත්‍රාසජනක චිත්‍රපට මාලාවක

Tom Cruise නවතම ත්‍රාසජනක චිත්‍රපට මාලාවක

අසීරු මෙහෙයුමක නිරතවන ඊතන්ට කුරුස යතුර සොයාගත හැකි වේද ?

සාමාන්‍යයෙන් හොලිවුඩ් ක්‍රියාදාම සිනමාවට කැමැති අය ටොම් කෲස්ගේ චිත්‍රපටයක් එනකල් ඇගිලි ගනිනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඔන්න එයාලට මේ දවස්වල දැකගන්න පුළුවන් අපූරු සිනමා නිර්මාණයක් ටොම් කෲස් එක්කම එළියට දාල තියෙනවා. ඒ තමයි මිෂන් ඉම්පොසිබල් ඩෙඩ් රෙකනින් පාර්ට් වන්. මේ දවස්වල හොලිවුඩ් ඇතුළු ලොව පුරා රටවල් රැසක අති සාර්ථකව තිරගතවෙන මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගන්න සමත් වෙලා තියෙනවා. මෙය නිර්මාණය කරන්නේ සුපිරි සිනමාපට අධ්‍යක්ෂකවරයකුවන ක්‍රිස්ටෝෆර් මැකුඅරි විසින්. ඒ වගේම මෙහි තිර රචනය සිදුකර තිබෙන්නේ ක්‍රිස්ටෝෆර්ස් සමඟින් එරික් ජෙන්ඩ්‍රසන්. ඒ වගේම මෙය 2018 වසරේ තිරගත වූ මිෂන් ඉම්පොසිබල් ෆෝල්අවුට් සිනමාපටයේ දිගුවක් ලෙසින් තමයි දිගහැරෙන්නේ. මෙතෙක් කාලයක් අති සාර්ථකව තිරගත වූ මිෂන් ඉම්පොසිබල් කතාමාලාවේ හත්වන කොටසවන මෙය අවසන් වන්නේ තවත් කොටසක් පිළිබඳව ඉගියක් ප්‍රේක්ෂකයින්ට ලබා දෙමින්.

සුපුරුදු පරිදි මෙහි සුපිරි ක්‍රියාදාම නළු ටොම් කෲස් ඊතන් විදිහට ප්‍රධාන චරිතය රඟ දක්වනවා. ඊට අමතරව මෙහි හෙයිලී ඇට්වෙල්, වින්ග් රාමෙස්, සිමොන් පෙග්, රෙබෙකා ෆර්ගියුසන්, වැනීසා කිර්බි, එසායි මොරාලස්, පොම් ක්ලෙමන්ටීෆ් මරියෙලා ගරේජා සහ හෙන්රි කසෙර්නි රංගනයෙන් දායකවනවා. 2019 වසරේ තමයි ටොම් කෲස් විසින් මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවෙහි හත්වන සහ අටවන කොටස් ක්‍රිස්ටෝෆර් අතින් නිර්මාණය වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ. ඒ සඳහා අලුත් නළු නිළියන් කිහිප දෙනෙක් සම්බන්ධ වන බවත් ඔහු ප්‍රකාශ කරලා තිබුණා. රූගත කිරීමේ කටයුතු 2020 වසරේ ආරම්භ කළත් කොවිඩ් තත්ත්වය නිසා රූගත කිරීම් තාවකාලිකව නවත්වන්න නිෂ්පාදක කණ්ඩායමට සිද්ධ වුණා.

ඇමරිකානු ඩොලර් මිලියන 290ක වියදමක් දරා නිර්මාණය කරන ලද මිෂන් ඉම්පොසිබල් නව චිත්‍රපටය සිනමාහල් රැසක අතිසාර්ථකව තිරගත වනවා. චිත්‍රපටයේ කතාව යන්නේ වෙනස්ම විදිහකට. ද එන්ටිටි ලෙස හැඳින්වෙන පර්යේෂණාත්මක නව සහස්‍රකයේ සබ්මැරීනයක් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මුහුදුබත් කරනු ලබනවා. අයි එම් එෆ් නියෝජිත ඊතන් හන්ට් හට කුරුස යතුරකින් අතුරුදන් වූ කොටසක් සොයාගැනීමට පවරනවා. ඔහු ඉල්සාගෙන් අර්ධ යතුර ලබා ගැනීම සඳහා යේමනයට යන අතර, පසුව වොෂිංටන් ඩීසී හි එක්සත් ජනපද බුද්ධි අංශ රැස්වීමකට ඇතුළු වෙනවා. එහි සී අයි ඒ අධ්‍යක්ෂ ඉයුජින් සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ ඩෙන්ලින්ගර් ඇතුළු විවිධ බුද්ධි අංශ නිලධාරීන් රහස් සාකච්ඡාවක් කරනවා. මෙහිදී විවිධ ලෝක බලවතුන් කාලය සමඟ තරඟ වදින්නේ ඔවුන්ගේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට සහ යතුර අවභාවිතා කිරීමට යි. නමුත් එය පාලනය කිරීමේ නිශ්චිත ක්‍රම ඔවුන් නොදනී. කෙසේ හෝ මෙය මනුෂ්‍යත්වයට විශාල තර්ජනයක් බව විශ්වාස කරන ඊතන් එය විනාශ කිරීමට උත්සාහ කරයි.

ඔහු සහ ඔහුගේ සගයන් වන බෙන්ජි ඩන් සහ ලූතර් ස්ටිකල් අනෙක් අර්ධ යතුරේ අයිතිකරුට බාධා කිරීමට අබුඩාබි අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ගමන් කරයි. කතාව දිවයන්නේ ඒහා බැදුණු සිද්ධි දාමයක් පසුබිම් කරගනිමිනි. කතාවට අවශ්‍ය පරිදි බිහිසුණු සටන් ජවනිකා සහ ත්‍රාසජනක සිදුවීම් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරමින් සිනමාපටය නිර්මාණය කර තිබීමෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගැනීමට සමත් වී තිබෙයි. මෙහිදී දුම්රිය තුළ සහ දුම්රිය වහල මත සිදුකරන සටන් ජවනිකා අතිශය ත්‍රාස්‍යජනක ලෙස රූගත කර තිබෙන අතර කාන්තා චරිත හැසිරවීමේදී සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් වෙනස් ආකර්ෂණයක් ලබාදීමට අධ්‍යක්ෂකවරයා සමත් වී තිබේ. එය අනිවාර්යනේම සඳහන් කළ යුතුව ඇත.

සිනමාපටයේ එන ත්‍රාසජනක දර්ශනය වෙනුවෙන් ස්ටන්ට් කෙනෙකු යොදා ගැනීම නොකරන ලෙසට ටොම් කෲස් අවධාරණය කර තිබුණා. ඔහුට අවශ්‍ය වුණේ සියලුම දර්ශන ඉතාමත් තාත්වික විදිහට කැමරාවට හසුකර ගැනීමටයි. දුම්රියේ ගමන් කරන දර්ශන වගේම පැරෂුට් දර්ශන සෑම එකක්ම කරන්න ටොම් කිසිම පැකිළීමකින් තොරව ඉදිරිපත් වෙලා තිබුණා. ටොම් කෲස්ට මේ වෙනකොට වයස අවුරුදු 61ක්. නමුත් ඔහුගේ තරුණ පෙනුම කිසිම විදිහකින් වියැකිලා තිබුණේ නැහැ. එදා වගේම අදත් ලෝකයේ බොහෝ තරුණ තරුණියන් ටොම් කෲස්ට වහ වැටිලා ඉන්නේ ඒ නිසා වෙන්න ඇති. චිත්‍රපටය වෙනුවෙන් ඔහු තමන්ගේ බර පවා කිලෝ ගණනකින් අඩුකරගෙන තිබුණා. වෙනත් නළුවකු චරිතයක් වෙනුවෙන් නොකරන විදිහේ කැපකිරීමක් අපිට හැමදාමත් ඔහුගෙන් දැකගන්න පුළුවන්. ඒක තමයි කෲස්ගේ තියෙන විශේෂත්වය.

මේ දවස්වල මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටය ලෝකයේ රටවල් රැසක අති සාර්ථක අන්දමින් තිරගත වනවා. කිසිම අවස්ථාවකදී ටොම් කෲස් රඟපාපු චිත්‍රපටයක් පාඩු ලබලා නැහැ. ඒ විශ්වාසය සහ ඔහුගේ තියෙන තරු ගුණය නිසා තමයි ජනප්‍රිය ලේබල් තවමත් ටොම් කෲස් එක්ක ව්‍යාපෘති කරන්න එකග වෙන්නේ. කොහොම නමුත් මෙහි ඊළඟ කොටසත් එන වසර මුලදී විතර ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙයි. ඒ කොටසෙත් මෙයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් සම්බන්ධ වෙයි. හැමදාමත් ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීමක් ලබාදෙන ටොම් කෲස් මේ පාරත් ඒ දේ අකුරටම කරල තියෙනවා. ඒ අත්දැකීම විඳගන්න ඕනි නම් ඔයාලත් මිෂන් ඉම්පොසිබල් අලුත්ම චිත්‍රපටය බලන්න කියලා අපි ආරාධනා කරනවා.

පිටපත : අමිල නුවන් මධුසංඛ

Trailer:

 https://www.youtube.com/watch?v=avz06PDqDbM

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4