මට බලපෑවේ බ්‍රැන්ඩෝ නොව පෝල් මුනියි

 

 ෆොන්සේකා මහතා දරනුයේ කවර මතවාදයක් ද යන්න පිළිබඳව විමසීමට මම උත්සුක වූයෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆොන්සේකා මහතා සමග කළ සංලාපයකින් පසුව මෙම ලිපිය ලියැවුණි. එය ෆොන්සේකා මහතා ජනසන්නිවේදන මාධ්‍යයක් සඳහා පැවැත් වූ අවසන් සම්මුඛ සාකච්ඡාව වේයැයි මම නොසිතුවෙමි.

ලෝකයේ අග්‍රගණ්‍ය රූපණවේදීන් දෙපළක් එකම වසරක (2004) ජීවිත සිනමාවෙන් සමු ගැනීම දෛවෝපගත සිද්ධියකි. මාලන් බ්‍රැන්ඩෝ ගාමිණි පොන්සේකා දෙපළගේ ජ්‍යෙෂ්ඨ නාමයන්ට මේ ලිපිය උපහාරයක් වේවායි මම පතමි. ඔබ කිසිදු රංගන පාසලකින් රංගනය හැදෑරුවකු නොව ස්වයං නිරීක්ෂණයෙන් චිත්‍රපට නැරැඹීමෙන් ලද පරිචයෙන්, සිනමා පොතපත කියවීමෙන් හා සිනමාවෙහි ප්‍රායෝගිකව නියැළීමෙන් රූපණය හදාළ බව මගේ විශ්වාසයයි. එහිදී ඔබ වඩාත් අභාසය හා අනුප්‍රාණය ලැබූ පෙර අපර දෙදිග රූපණවේදීන් කවුරුන්ද ?

ඔබ කියූ පරිදි මා කුඩා කල පටන්ම පෙර අපර දෙදිග චිත්‍රපට නැරඹුවා. ඒවා නැරඹීමෙන් තත්කාලීනව පැවැති ආසියානු සිනමා රූපණය ස්වභාවික විය යුතු යැයි මා විශ්වාස කළා. මෙරට රූගත කළ ඩේවිඩ් ලීන්ගේ  The Bridge on the River Kwai  චිත්‍රපටයෙහි සහය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සමයේ එහි රඟපෑ විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස්, ශ්‍රීමත් ඇලෙක් ගිනස්, ජෝන් බොක්සර්, සෙසුයි හයකාවා වැනි රංගන ශිල්පීන්ගේ රඟපෑම් පිළිබඳ ස්වයං නිරීක්ෂණයේ යෙදීමට මට හැකියාව ලැබුණා.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟ රේඛාව, සන්දේශය වැනි චිත්‍රපටවල වැඩ කිරීමෙන් සිනමාවේ ප්‍රායෝගික අංශය පිළිබඳ නිවැරැදි අවබෝධයක් මා ලැබූ අතර සිනමාව පිළිබඳ න්‍යායන් හැදෑරුවේ ලෙස්ටර් මහතා සතු වූ අගනා පුස්තකාලයේ පොත්පත් කියවීමෙන්. එම යුගයේ මා වඩාත් ප්‍රිය කළ මා කෙරෙහි වැඩියෙන් බලපෑ අපරදිග නළුවා පෝල් මුනියි. . The Story of Louis Pasteur, The Good Earth  වැනි චිත්‍රපට වල ඔහුගේ රංගනයෙන් ප්‍රකට කළ අද්විතීය ප්‍රතිභාව මා හදවත සසල කළා.

දේශීය සිනමාවේ මා වඩාත් ආභාසය ලැබූ රංගන ශිල්පියා ලැඩී රණසිංහයි.

ලෝක සිනමාවේ වේදිකාවෙන් සිනමාවට සම්පර්ක වූ නාට්‍යාතිශය රංගන ක්‍රමය මුළුමනින්ම බැහැර කොට තත්විධ රූපණවේදය හඳුන්වා දුන් නළුවා ලෙස සැලකෙන්නේ මාලන් බ්‍රැන්ඩෝයි. ඔහුගේ රූපණවේදය ඔබ කෙරෙහි බලපෑවේ කුමන ආකාරයටද?

මාලන් බ්‍රැන්ඩෝ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ නළුවෙක්. එහෙත් ඔහු අතික්‍රමණය කළ තව බොහෝ දක්ෂ නළුවන් සිටිනවා. මා වඩාත් ආභාසය ලැබූ පෝල් මුනි එවැන්නෙක්. On the Water Front  බ්‍රැන්ඩෝගේ විශිෂ්ට රඟපෑමක් අන්තර්ගත චිත්‍රපටයක් ලෙස සිනමා විචාරකයන් හැඳීන්වූවා. ඔහුට මේ සඳහා ඔස්කාර් සම්මානය පවා හිමි වුණා. එහෙත් මා දකින ආකාරයට බ්‍රැන්ඩෝට වඩා මේ චිත්‍රපටයේ දක්ෂ ලෙස චරිත නිරූපණය කළේ රොඩ් ස්ටෙයිගර්. මෙහි දෙසොහොයුරන් (බ්‍රැන්ඩෝ සහ ස්ටෙයිගර්) අවසන් වරට සම්මුඛ වන දර්ශනයේ ස්ටෙයිගර්ගේ රඟපෑම් මගේ දෑසට කඳුළු නැංවූවා. බ්‍රැන්ඩෝ දක්ෂ නළුවෙක් ලෙස විවිධ අභියෝග බාරගත්තා. නළුවෙක් වූ විට තමාට ලැබෙන ඕනෑම ආකාරයක චරිතයක් රඟපෑමට හැකියාව තිබිය යුතුයි. මේ චරිතය මට පුළුවන්, මෙය බැහැ කියන පුද්ගලයාට දක්ෂ නළුවකු විය නොහැකියි. මම නැටුම් කලාව හදාරලා නැහැ. නමුත් අවශ්‍යතාව අනුව බොහෝ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටවල මට නටන්න සිදු වුණා. මා එබඳු චිත්‍රපටවල රඟ නොපෑවා නම් හොඳයි කියා ඇතැම් පටු ආකල්ප ඇති විචාරකයින් කීවා. මම විතරද චිත්‍රපටවල නැටුවේ. ට්භරඵ චදඤ ච්ධතතඵ චිත්‍රපටයේ බ්‍රැන්ඩෝ නැටූ බව ඔවුන්ට සිහිපත් කළ යුතුයි.

ආසියානු සිනමාවට යථාර්ථවාදී රූපණය හඳුන්වා දුන් නළුවා ඔබයි. මෙහිදී ඔබ එම මෙහෙවර ඉටු කිරීමේදී ඔබ බ්‍රැන්ඩෝ මෙන්ම තත්කාලීන නාට්‍යාතිශය රූපණවේදය බැහැර කළා නේද

වේදිකාවේදී නළු නිළියන් හා ප්‍රේක්ෂකයන් අතර එතරම් සමීප වීමක් නැහැ. සිනමාවේ ගැලරියේ ඉන්නා පිරිස වේදිකා නාට්‍යයකදී පිටුපසට පැමිණ නරඹනවා. සිනමාවේදී ඒ අවම වශයෙන් දෙසීය ගුණයක්වත් විශාල වෙනවා. එවිට අතිශයෝක්ති රූපණය සිය ගුණයකින් වැඩි වෙනවා. සිනමාව රහසක් කී විට එය පසු පෙළටත් ඇසෙනවා. මේ වෙනස්කම් මුල් සිනමාවේ තිබුණේ නැහැ. වේදිකාවේ ගති සොභා ප්‍රකට කළ මේ රූපණය වෙනස් කළ යුතු බව මා දුටුවා. එය ඉබේම සිදුවූවක් නොව මා කළ එම වෙනස උඩුගං බලා පිහිනීමක් බඳුයි.

ඔබට පෙර සිනමාවේ අප දුටුවේ නාට්‍යාතිශය, භාවාතිශය රංගන ශෛලියකින් හෙබි නළුවන්. තෙල් ගා පීරූ බොකුටු කොණ්ඩය, ගිනිකූරු උඩු රැවුල, ඔතෑනි, ඕලාරික ගති පැවතුම් මේ තරු තුළින් ප්‍රකට වුණා.

ඔවුන් පමණක් නොවේ තෙල් ගා හිස නො පීරුවාට සුද්දෝ ගෑවේ බ්‍රිලියන් ටයින්, වැස්ලීන් වැනි දේ. ඔය උඩු රැවුල ආසියාවට බෝ වුණේ ක්ලාක් ගේබල් ගෙන්. එවකට දේශීය සිනමාවේ තරුවලින් අපි දුටුවේ සමකාලීන යුගයේ ජීවත් වූ තරුණු තරුණියන් නොවේ. මා පාසැල් සමයේ සිටම කායවර්ධන ව්‍යායාම බොක්සින් වැනි ක්‍රීඩා කළා. රගර් ක්‍රීඩාවට පහසු නිසා මගේ කොණ්ඩය කොට කර කැපුවා. මෙබඳු පසුබිමකින් සිනමාවට ආ නිසා බොහෝ ප්‍රේක්ෂකයන්ට බාහිර ස්වරූපය අනුව එවකට ඔවුන් සමාජයේ දැක පුරුදු තාරුණ්‍යයත්, ජවයත් මගෙන් දකින්නට ඇති. මගේ ප්‍රථම ප්‍රධාන චරිතය ‘පිරිමියෙක් නිසා’ (1960) චිත්‍රපටයේ රඟපාද්දී එහි අධ්‍යක්ෂ ටී. සෝමසේකරන් මහතා මෙහෙම කිව්වා.

“ඔබගේ රඟපෑම් තාත්විකයි. නමුත් අද ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ කිසියම් දුරකට අධි රංගනයක්. එවිට මා ඔහුට කීවේ මෙයයි. “එය ප්‍රේක්ෂකයා ඉල්ලූ දේ නොවෙයි. දෙමව්පියෝ ළමයින්ට රස කැවිලි දෙනවා වගේ, ඔවුන්ට දීල පුරුදු කරපු දෙයක්. දැන් එය වෙනස් කළ යුතුයි.” චිත්‍රපටය තිරගත වූ පසුව ටී. සෝමසේකරන් මගේ අදහස ඉහළින්ම අනුමත කළා.

එවකට ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ‘පිරිමියෙක් නිසා’හි ඔබගේ රඟපෑම් බ්‍රැන්ඩෝ පාට් දැමීමක් ලෙස (දිනමිණ චිත්‍රපට විචාරය 1960-11-23) හැඳීන්වූවා නේද?

එය මාලන් බ්‍රැන්ඩෝගේ රඟපෑම් පිළිබඳවත්, මා එවකට කරන්න උත්සාහ කළ වෙනස පිළිබඳවත්, නොදැන කළ ප්‍රකාශයක්. බ්‍රැන්ඩෝ සහ මම සිනමා රූපණයේ සිදු කරන්නට යෙදුණු වෙනස එකිනෙකට සමාන වුවත්, එම වෙනස උදෙසා අප ගමන් කළේ මාර්ග දෙකක. එය මෙරට බොහෝ විචාරකයන් වටහාගෙන තිබුණේ නැහැ. වෙනකක් තබා මා සිනමා රූපණයේ යම් වෙනසක් සිදු කළා නම්, එය පවා පර්යේෂණාත්මකව මුල් වරට සනාථ කළේ මා සිනමාවට පිවිස දශක හතරකට පසුව නව පරපුරට අයත් ඔබ ලියූ ‘විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා’ කෘතියෙන්. ඇත්ත වශයෙන් ඒ කාලයේ සිනමා විචාරයක් ලෙස හැඳීන්විය හැකි යමක් කෙරුණා නම්, ඒ සිංහල භාෂාවෙන් නොවෙයි. ඉංග්‍රීසියෙන්. මර්වින් සිල්වා, ලෙනාඩ් ඩාන්ඩ්, බෙනඩික්ට් දොඩම්පෙගම, බොයි ඉන් පියතුමා ආදී කිහිප දෙනෙක් හොඳ විචාර ලියූ අය ලෙස නම් කළ හැකියි. මේ අයටත් ඒ යුගයේ විචාර කාර්යයට අවැසි පොතපත සපයා ගත හැකි වුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පුස්තකාලයෙන්.

බ්‍රැන්ඩෝ ලෝක සිනමාවට තත්විධ රූපණය හඳුන්වාදීමෙහිලා මුළුමනින්ම පාදක කොටගත්තේ ස්ටැනිස්ලාව්ස්කිගේ රූපණ සිද්ධාන්ත. එහෙත් ඔබ ආසියානු සිනමාවට යථාර්ථවාදී රූපණය හඳුන්වා දීමේ දී අපරදිග ස්ටැනිස්ලාව්ස්කිගේ සිද්ධාන්ත හා පෙරදිග භරතමුනිගේ සිද්ධාන්ත සමතික්‍රමණය කළ හැටි මා දුටුවා.

රූපණය පිළිබඳ සෑම සිද්ධාන්තයක් පිළිබඳවම අවබෝධය නළුවෙකුට තිබිය යුතුයි. එහෙත් අප ඒවාට වහල් විය යුතු නැහැ. ඒවායෙහි සරු නිසරු තැන් වෙන් කොට ගෙන තමාටම ආවේණික රූපණවේදයක් ගොඩනඟා ගැනීමට නළුවෙකුට විවේක බුද්ධිය තිබිය යුතුයි. රංගන ශිල්ප ශාලිකාවකින් හැදෑරීමක් නොකොට උසස් නළුවෙකු විය නොහැකි යැයි ස්ටැනිස්ලාව්ස්කි වරක් පැවසුවා. මෙය පිළිගත හැකිද? මා කිසිදු රංගන පාසලකින් රූපණය හදාරලා නැහැ. මෙරට ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා වැනි නළු නිළියන් විශිෂ්ට චරිත නිරූපණය කළේ රංගනය හදාරලද? ස්ටැනිස්ලාව්ස්කිගේ ඇතැම් මතවාද අද ඔහු උපන් රුසියාවෙන් පවා ප්‍රතික්ෂේප වෙද්දි අපේ මාලිනී ෆොන්සේකා රුසියාවෙන් සම්මානයක් ලබා ගත්තා නේද? පෝල් මුනි, මාලන් බ්‍රැන්ඩෝ වැනි ශ්‍රේෂ්ඨ නළුවන්ට කිසියම් චරිතයක් නිරූපණය කිරීමට පෙර එම චරිතය හැදෑරීමට කාලයක් ලැබෙනවා. ඒ සඳහා පහසුකම් ලැබෙනවා.

එහෙත් අප මෙතෙක් රඟපෑ කිසිදු චරිතයක් සඳහා එබඳු දිගු අධ්‍යයන කාලයක්, සුවිශේෂ පහසුකම් ලැබී නැහැ. කිසියම් චරිතයක් රඟපෑමට පෙර පුද්ගලයෙක් සමාජයෙන් තෝරාගෙන ඔහුගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම බ්‍රැන්ඩෝ ප්‍රමුඛ බොහෝ දක්ෂ නළුවන්ගේ සිරිතක්. නිධානයහි රඟපාද්දී සැබෑ මීමැස්මොර රෝගියකුගේ හැසිරීම් නිරීක්‍ෂණය කරන්නැ’යි මට ලෙස්ටර් මහතා කිව්වා. එහෙත් මා එසේ කළේ නැහැ. මා එහිදී වැඩි අවධානයක් යොමු කළේ මගේ පරිකල්පනයට. පරිකල්පනයෙන් මා මීමැස්මොර රෝගියකු උණා.

රංගන ප්‍රතිභාව කියන්නේ පෙර භවයේ පටන්ම අප රැගෙන එන වාසනා ගුණයක්. කොතරම් භව ගණනක් අප මෙතෙක් පසුකොට ඇත්දැයි කිව නොහැකියි. එහෙත් මෙකී භවයන්හි අප විවිධ අනුභූතීන්වලට මුහුණ පාමින් විවිධ වෘත්තීන් හී නියැළෙන්නට ඇති. සසරෙන් එතෙර වන තෙක් මෙකී අත්දැකීම් අපට නොදැනී අපගේ උප විඤ්ඤාණයෙහි රැඳී සිට අපගේ ක්‍රියාවන් මෙහෙයවනවා. නළුවකුට මෙය විශේෂ වන්නේ රංගනයේදී උප විඤ්ඤාණගත අනුභූතින් තමා නිරූපණය කරන භූමිකාව හා ආබද්ධ කර ගැනීමට රූපණවේදියාගේ චිත්ත ඒකාග්‍රතාව ඉතා වැදගත්. රංගනය භාවනාවක් බඳු යැයි මගේ විශ්වාසයයි.

සෑම පුද්ගලයකු තුළම නළුවකු ජීවත් වෙතැයි බ්‍රැන්ඩෝ වරක් පැවසුවා. මේ අදහස සමඟ ඔබ එකඟද?

සමාජයේ වාසය කරන සෑම මිනිසකුටම එක්තරා ප්‍රමාණයකට රඟපෑ හැකි බව මා ද විශ්වාස කරනවා. නිදර්ශනයක් වශයෙන් සැබෑ ජීවිතයේදී කෝකියෙකුට, කෝකියෙකුගේ චරිතය අන් අයට වඩා පහසුවෙන් කළ හැකියි. ඕනෑම කෙනෙකුට කිසියම් චරිතයකට පිවිසිය හැකි සීමාවක් තියෙනවා. එය හොඳීන් හඳුනාගෙන ඔවුන් මෙහෙය වුවහොත් අධ්‍යක්ෂකවරයාට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. මගේ චිත්‍රපටවලදී මා බොහෝ ආධුනිකයන්, දක්ෂ නළුවන් ලෙස හසුරුවා තිබෙනවා. නළුවන් වීමට කිසිදු කලෙක නොපැතූ අය මගේ චිත්‍රපටවල කළ රඟපෑම්වලින් සම්මාන ලබා තියෙනවා. සැබෑ ජීවිතයේදී සෑම කෙනෙකුම පාහේ කිසියම් හෝ රඟපෑමක් කර තිබෙනවා. එහෙත් මෙය කැමරාවක් ඉදිරියේ කරන රඟපෑමට වෙනස්. කැමරාවක් ඉදිරියේ විවිධ භූමිකා දක්ෂ ලෙස නිරූපණය කිරීමට නම් වාසනා ගුණයක් තිබිය යුතුයි. පොදු සමාජයෙන් කලාකරුවා සුවිශේෂී වන්නේ මේ වාසනා ගුණය නිසයි.

මේ ලිපිය 2004 ඔක්තෝබර්-දෙසැම්බර් චිත්‍රපට සඟරාවෙහි මුල්වරට පළවිය.

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4