
සයුරේ රළ පෙළ රැළි ගැසෙමින් ඒ මේ අත පාවෙද්දී නැගෙන හඩ මෙන් ම ඇය ගේ හඩ ලයාන්විතව ඉහළ පහළ යයි. විනාඩි 4.04 ක් දිගු My Heart Will Go on ටයිටැනික් තේමා ගීතය වරක් ඇසූවකුට ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දෙන තරමට මිහිරි ය. මේ කෝකිල හඩේ හිමිකාරිය සෙලින් ඩියොල් ය. ටයිටැනික් සිනමා පටයේ තේමා ගීතය පමණක් ම ඇය ගේ හඩේ සුමධුර බව, ලාලිත්‍ය මැන ගැනීමට ප්‍රමාණවත් වෙයි. My Heart Will Go on ටයිටැනික් තේමා ගීතයේ පිටපත් මිලියන 26 කට වැඩි ගණනක් ලොව පුරා අලෙවි කෙරිණි. ගීතයට රංගනයෙන් ජීවය එක්කළ ප්‍රධාන තාරකා යුවළ වූ කේට් වින්ස්ලට් සහ ලෙනාඩෝ ඩි කැප්රියෝ මෙන් පද වැලට හඬ දුන් නැඟී එන ගායන තාරකාව සෙලින් ඩියොන් ද ලොව පුරා එකසේ ජනප්‍රිය විය. එතෙක් ඇය ගේ සුවිශේෂී ගායන හැකියාව හඳුනාගෙන තිබුණේ උතුරු අමෙරිකානුවන් පමණි. My Heart Will Go on ගීතයේ සාර්ථකත්වය කෙතරම්දැයි කිවහොත් 1998 වසරේ ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, ග්‍රැමී සම්මාන ත්‍රිත්වය ම හිමි වූයේ මයි හාට් විල් ගෝ ඔන් ගීතයට ය.
පොප්, රොක්, ගොස්පල් ආදී ඕනෑම ආරකින් ගී ගැයීමට හපන්කම් පාන සෙලීන් ගැන මෑතකදී අසන්නට ලැබුණේ කනගාටුදායක පුවතකි. ටයිටැනික් සිනමා පටය තිරගත වී වසර 25 සපිරෙද්දී ඇය මිලියනයකින් එක් අයකුට සෑදෙන දුලබ ස්නායු රෝගයකින් පීඩා විඳින බව ලොවට හෙළි කළාය. ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝම් නම් රෝගී තත්ත්වයෙන් සෙලීන් ඩියොන් පෙළෙන්නී ය.
රෝගී තත්ත්වය නිසා ඇය ගේ 2023 - 2024 නියමිතව තිබූ කරේජ් ලෝක සංගීත චාරිකාව ද අවලංගු කෙරිණි. මාංසපේශී ගැහෙන ඒ රෝගී තත්ත්වයේදී ඇයට සුපුරුදු පරිදි ස්වර තන්තුවලින් ප්රාතිහාව පෑමට නො හැකි වී ඇත. මේ අවාසනාවන්ත පුවත රැගත් වීඩියෝව සෙලින් 2022 වසරේ දෙසැම්බරයේදී ඉන්ස්ටග්රම් සමාජ වෙබ් අඩවියට එක්කර තිබිණි. 55 හැවිරිදි ඇය සිය රෝගී තත්ත්වය ගැන පැවසුවේ කදුළු පිරි දෙනෙතිනි. කරේජ් ලෝක චාරිකාව ඇය ඇරැඹුවේ 2019 වසරේදී ය. කොරෝනා වසංගතය පැමිණීමට පෙර ඇය සන්දර්ශන 52ක් පවත්වා තිබිණි.
සෙලින් සංගීතය වෙනුවෙන් ම උපන්නියකි. ඇය ඉපදුණේ කැනඩාවේ සංගීතකාමී පවුලකය. සෙලින් නම් ජනප්‍රිය ගීතය නමින් ඩියොන් පවුල ඇයට නම තැබූ බව පෙනේ. දිළිදු කතෝලික පවුලක් වුව ද ඩියොන්ලා ගී ගයමින් සතුටින් දිවිගෙවූ පිරිසකි. කුඩා වියේ සිටම ප්‍රසංග වේදිකාවේ ගායිකාවක වීමට සෙලින් සිහින මැව්වා ය. ඇය ගේ පළමු ගීතය ද පවුලේ සාමාජිකයන් ගේ එකතුවෙන් නිර්මාණය වූවකි. වයස අවුරුදු 12 දී ඇය ගැයූ ඛ්ඥ ද'ධිබචඪබ ඳභ'භද පධීමඥ" ගීතයේ තනු නිර්මාණයට මව මෙන් ම සොයුරා ද එක් වූහ. පළමු ගීතය සංගීත කළමනාකරුවකු වූ රෙනේ ඇන්ගෙලිල්ට යොමු කෙරුණු අතර සෙලිනේ ගේ හඩ අසා ඇන්ගෙලිල් ගේ දෑසින් කදුළු බේරිණි. ඇය තරුවක් කිරීමට අදිටන් කරගත් ඔහු සිය නිවෙස උකසට තබා පළමු ගී තැටියට අවැසි මුදල් ලබා දුන්නේ ය. ගීතයෙන් එක් රැයකින් ඇය කැනඩාවේ ජනප්‍රිය ගායිකාවක බවට පත් වූවා ය. දවසින් දවස ඇය රටින් රට රසික රසිකාවන් ගේ හදවත් දිනා ගත්තා ය. 1982 යමහා ලෝක ජනප්‍රිය ගීත උලෙළේදී හොඳම සන්දර්ශන ගායිකාව ලෙස තේරීම සෙලින් ගේ සංගීත දිවියේ කඩඉමක් විය. ඒ සංගීත උලෙළේ හොදම ගීතයට හිමි රන් සම්මානය හිමි වූයේ ද ඇයටම ය.
සෙලින් ගේ සංගීත සිහිනයට දිනෙන් දින තටු ලැබිණි. 18 හැවිරිදි යුවතියක වූ ඇය පොප් රජු මයිකල් ජැක්සන් මෙන් ප්‍රසංග වේදිකාවේ රජ කිරීමට කැමැති බව සංගීත කළමනාකරු රෙනේ ඇන්ගෙලිල්ට පැවසුවා ය. ඔහු ඇය ගෝලීය තාරකාවක කිරීමට අවශ්‍ය පන්නරය ලබා දුන්නේ ය. ඇය ගේ දත්වල පෙනුම දන්ත ශල්‍යකර්මයකින් හැඩ කෙරිණ. ඉංග්‍රීසි බස වැඩිදියුණු කරගෙන ඉංග්‍රීසි ගීත හොදින් උච්චාරණය කරමින් ගැයීමට හැකියාව ලැබීය. සියල්ලෙන් පන්නරය ලබා 1989 දී සංගීත සන්දර්ශනයේ යෙදී සිටියදී ඇයට ස්වර ආබාධයක් ඇතිවිය. වෛද්‍ය ප්රතිකාරවලින් හඩ ජයගත් ඇය සුපුරුදු පරිදි සිය සංගීත චාරිකාව ඇරැඹුවා ය.
1991තිරගතවූ බියුටි ඇන්ඩ් ද බීස්ට් ඩිස්නි සජීවීකරණ සිනමා පටයේ තේමා ගීතය සේලින්ට වාසනාව උදාකර දුන්නේ ය. ඇයට ප්‍රථම ග්‍රැමී සම්මානය හිමි කර ගැනීමට මුල් වූයේ ද බියුටි ඇන්ඩ් ද බීස්ට් තේමා ගීතය ය. දිනෙන් දින සේලීන් අමෙරිකාවේ ජනප්‍රිය වූවා ය. මෙයින් සිත් පෑරුණේ ඇය ගේ ප්‍රංශ සහ කැනේඩියානු රසිකයන් ගේ ය. ඔවුන් ගේ පෑරුණු සිත් සැනසීමට ඇය 1991 ජ්ධිතඪය සම්මාන උලෙළේදී ලැබුණු වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානය ප්‍රතික්ෂේප කළේ තමන් ප්‍රංශ ගායිකාවක බව පවසමිනි.
ඇය ගායන ලොවේ බැබළෙන තාරකාවක බවට පත්වෙද්දී පෞද්ගලික දිවියේ ද දැවැන්ත පෙරළියක් සිදුවිණි. කළමනාකරු වශයෙන් සේවය කළ ඇන්ගේලි සහ ඇය අතර සෙනෙහස මෝදු වන්නට විය. ඔහුට වඩා ඇය 26 වසරක් බාල වූ බැවින් කලක් යනතුරු දෙදෙනා එය ලොවට රහසක් වශයෙන් තබා ගත් හ. The Colour of My Love ඔවුන ගේ සෙනෙහසට ඇය ත්‍යාග කළ ගීත ඇල්බමයයි. 1994 දෙසැම්බර් 17 වැනිදා උත්කර්ෂවත් ලෙසින් දෙදෙනා ගේ විවාහ මංගල්‍ය පැවැත්වුණු අතර කැනේඩියානු රූපවාහිනියෙන් එය විකාශය කෙරිණි. ඒ වන විට සෙලීන් ගැයූ සියලු ගීත අතරින් වඩාත් ම ජන හද වැලද ගත් ගීතය වූයේ The Colour of My Love ය. අමෙරිකාවේ එහි පිටපත් මිලියන 6කට වඩා අලෙවි වූ අතර කැනඩාවේ මිලියන 2 ක් අලෙවි විය. අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව යන රටවල ගීත දර්ශකවල ප්‍රථම වරට සෙලීන් ගේ ගීයක් පළමු තැන වැජඹිණි. The Colour of My Love ගීතයෙන් පසු ඇය ගැයූ ගීත එකකට එකක් පරයමින් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ ය. 1996 වසරේ ලොව වඩාත් ම ගී තැටි අලෙවි වූ ගායිකාව ලෙසින් ලෝක සංගීත සම්මාන උලෙළේ සම්මානයට පාත්‍රවූයේ ඇය ය. 1996 ඇටිලාන්ටා ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උලෙළ සෙලීනේ ගේ "The Power of the Dream" ගීයෙන් මිහිරි විය.
ඇය සිය ගායන දිවියෙන් මද විරාමයක් ලබා ගත්තේ සැමියා ඇන්ගේලි අන්නස්‍රෝත පිළිකාවකට ගොදුරුව ඇති බව හඳුනා ගත් පසුවයි. එහෙත් ඇය ගේ විරාමයට හේතුව ඇය නිවුන් දරුවන් ලැබීමට සිටීම බව 2000 වසරේ නිකුත් කළ National Enquirer සඟරාවේ පළ කෙරිණි. සෙලීන් ප්‍රකාශකයන්ට විරුද්ධව අමෙරිකානු ඩොලර් මිලියන 20 කට වැඩි මුදලක් ඉල්ලා නඩු දැම්මා ය. කතුවරයා ඊළග සඟරාවේ සමාව ඉල්ලා සිටි අතර දඩ මුදල ඇයටත් ඇය ගේ සැමියාටත් ගරු කිරීමක් ලෙස අමෙරිකානු පිළිකා සංගමයට තිළිණ කරන ලදී. එහෙත් ඔවුනගේ පුවත සනාථ කරමින් සෙලීන් 2001 වසරේ පුතකු ගේ මවක වූවා ය. ඒ වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවට ත්රස්තයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඇය ගේ ගී හඩ යළි අවදි කෙරිණි. ගෝඩ් බ්ලෙස් අමෙරිකා (God Bless America) ගීතයෙන් ඇය ගේ ඊළග ගීතමය පරිච්ඡේදය ඇරැඹිණි. දෙවැනි වරට සෙලීන් මවක වූයේ 2011 වසරේදි ය. එවර ඇය නිවුන් පුතුන් දෙදෙනකු බිහි කළා ය.
2016 වසර ඇය ගේ දිවිය දැඩි වේදනාකාරී මතකයන්ගෙන් පිරී ගියේ ය. සැමියා රෙනේ ඇන්ගේලිත් සිය සොයුරාත් පිළිකා මාරයාට බිලිවීම ඊට හේතුවය. නැවත කිසි දිනක වෙනත් පෙමක් නො පතන බව ආදරණීය ඇන්ගේලි වෙනුවෙන් ඇය ඇයට ම පොරොන්දු වූවා ය. ඇන්ගේලි ගේ ආදරය සිත්හි තබා ගෙන ම ඇය ගීත චාරිකාවේ නියැළුණා ය. එහෙත් දෛවය නැවතත් ඇය ගේ ගායනයට බාධකයක් එක් කළේ ය. ඒ (God Bless America) රෝගී තත්ත්වයයි. ඇයට රෝගී තත්ත්වය ජය ගෙන ගලා යන දිය දහරක් මෙන් නො නවතිනා මධූර ස්වරය අවදි කිරීමට ඇය ගේ සොයුරු සොයුරියන් වෛද්‍ය කණ්ඩායම නො නවතින සටනක නියැළී සිටිති. සෙලීන් ඩියෝන් ගේ සුමිහිරි හඩ ඉක්මනින් ම අවදිවේවා යි යන්න මුළු ලොවේ ම පැතුම ය.
අන්තර්ජාලයෙනි