ජාවාරම්කරුවන් හඹායන ත්‍රාසජනක ගමනක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඹායන ත්‍රාසජනක ගමනක්  The French Connection

ඇමරිකානු ලේඛක 'රොබින් මුවර්' ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' නම් නවකතාවක් ලියා පළ කළේ 1969 වසරේදී ය. එය බොස්ටන් නගරයේ 'ලිටල් බ්‍රවුන් ඇන්ඩ් කම්පනි' නම් ප්‍රකාශකයන් විසින් පළ කළ අතර, එම කථාව පුරා පිටු 309 ක් පමණ විය.

කථාව ගෙතුණේ 60 දශකය මැද භාගය තුළ ඇමරිකාවේ ප්‍රධාන නගර තුළ ව්‍යාප්ත වන මත් ද්‍රව්‍ය මැඩ පවත් වන්නට ඇමරිකානු පොලිසිය කරන මෙහෙයුම් ගැන ය. එලෙසම මත් ද්‍රව්‍ය පුරවා ඇමරිකාවට ඇතුල් වන නැව් පිටුපස සිටින මහා මොලකරුවන් ඇල්ලීමත්, රාත්‍රී සමාජ ශාලාවන් තුළ, මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් සොයා ගැනීමත් මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ විය.

රොබින් මුවර් ගේ බොහෝ නවකතා ඇමරිකාව තුළ ජනප්‍රිය වී තිබුණි. 'ද ග්‍රීන් බෙරෙට්ස්' ' අ ටෘ එකවුන්ට් ඔෆ් කොප්ස්' 'නාර්කොටික්ස්', 'ඉන්ටර්නැෂනල් කන්ස්පිරසි', සහ 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' ඔහුගේ ජනප්‍රියතම නවකතා කීපයකි. ඔහුගේ 'ද ග්‍රීන් බැරට්ස්' 1968 වසරේ නළු ජෝන් වේන් හා රේ කෙලොග් අතින් චිත්‍රපටයකට පරිවර්තනය කර, තිරගත කළේ ජෝන් වේන් ප්‍රධාන චරිතය රඟපාමිනි. ඉන්පසු තිරයට නැඟුණේ 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' නව කථාව ය.

'පිලිප් ඩී අන්තෝනි' ඇමරිකානු චිත්‍රපට නිශ්පාදකවරයකි. එලෙසම ඔහු සිනමා අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදක වරයෙකුද විය. ඔහුගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය ලෙස සඳහන් වනුයේ 1968 වර්ෂයේ තිර ගත කෙරූ 'පීටර් යාටෙස්' අධ්‍යක්ෂණය කළ ස්ටීව් මැකුවින් ප්‍රධාන චරිතය රඟපෑ 'බුලිට්'ය. රොබට් වෝගන්, ජැකුලයින් බිසෙට්, රොබට් ඩුවාල් අනෙක් ප්‍රධාන චරිත රඟපෑ 'බුලිට්', ඇමරිකානු ඩොලර් මිලියන් 4 ක එස්තමේන්තුවකට, මුල් වටයේ ඇමරිකානු ඩොලර් මිලියන 42.3 ක ආදයමක් ලද අතර, එය 2022 වසර වන විට, ඩොලර් මිලියන 273ක් උපයා තිබුණි. 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' ඔහු නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේ ඉන්පසුවය. ඔහු 1973 වසරේදී චිත්‍රපට නිෂ්පාදනයට අමතරව අධ්‍යක්ෂණය ටද අවතීර්ණ විය. ඒ ' ද සෙවන් අප්' චිත්‍රපටයෙනි. රෝයි ෂෙයිඩර් එහී ප්‍රධාන චරිතය රඟපෑවේය. 'ද සෙවන් අප්' චිත්‍රපටය තරමක් දුරට ජනප්‍රිය විය. ඩොලර් මිලියන 2.4 ක ඇස්තිමේන්තුවකට මුල් වටයේ මිලියන 6 ක හා කැනඩා තිර ගතවීමෙන් මිලියන 4.1 ක් ඉපයුවා යනු එය ජනප්‍රිය වූ චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහු ඉන්පසු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බවක් සඳහන් වී නැත.

'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටය මුලින්ම නිෂ්පාදනය කිරීමට සැරසුණේ 'නැෂනල් ජෙනරල් පිච්චර්ස්' නම්වූ ඇමරිකානු චිත්‍රපට සමාගමක් ය. පසුව ඔවුන් එම අදහස අත් හැරීය. ඉන්පසු රිචඩ් සනුක්, හා ඩේවිඩ් බ්‍රවුන් ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම හා එක්ව ඩොලර් මිලියන 1.5 කට ඇස්තමේන්තුව හැදුණද, එය ඇස්තමේන්තු කළ මුදලට වඩා එයට ඩොලර් ලක්ෂ 3 ක් එක් විය. පසුව එය ඩොලර් මිලියන 1.8 ක් වූවද, එය නිෂ්පාදනය කර නිම වෙන විට, ඩොලර් මිලියන 2.2 ක් ඉක්ම විය.

'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' හී ප්‍රධාන චරිතය වූ ' ජිමි ඩොයෙල්' නම් චරිතයට මෙහී ශිල්පීන් තෝරන අධ්‍යක්ෂක ගේ මුල් හා එකම තීරණය වූයේ 'ජීන් හැක්මන්' වය. එහෙත් නිෂ්පාදක, හා අධ්‍යක්ෂවරුන් වෙනත් නම් යෝජනා කරන්නට විය. පෝල් නිව්මන්, ජැකි ග්ලේසන්, පීටර් බොයෙල් පමණක් නොව කිසිදිනයක රඟනොපෑ ජිමි බ්‍රෙස්ලෙන් වද මේ යෝජනා අතරේ විය. එලෙසම තවත් දැවැන්ත නළුවන් වූ 'චාර්ල්ස් බ්‍රොන්සන්', 'ලී මර්වින්', 'ජේම්ස් කාන්', ' රොබට් මිචම්' ද තෝරා ගැන්ම සඳහා අවධානය යොමු විය. අවසානයේ 'ස්ටිව් මැකුවින්' නම් නළුවාව තෝරා ගත්තද, ඔහු 'බුලිට්' චිත්‍රපටයේ එවන් පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් රඟපාන නිසා, එම චරිතය භාර ගත්තේ නැත. රොඩ් ටේලර් ඔවුන්ගේ ඊළඟ තේරීම විය. ඒ තේරීම ඉතාම හොඳ තේරීමක් බව බොහෝ අය කිව් අතර, ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම ද එය ට අවසර දුනි. නමුත් කුමක් හෝ හේතුවකට රොඩ් ටේලර් එම චරිතය භාර ගත්තේ නැත. අවසානයේදී නළු නිළි තෝරන අධ්‍යක්ෂවරයාගේ අදහස ඉටුවිය. ඔවුන් ජීන් හැක්මන්ට එම ප්‍රධාන චරිතය භාර දුනි.

රහස් පරික්ෂක බඩී රූසෝගේ චරිතයට රෝයි ශෙයිඩර් හා තරඟ කිරීමට කිසිවෙක් සිටි බවක් සඳහන් වී නැත. එහෙයින් එය නිතැඟින්ම රෝයි ශෙයිඩර් ගේ අතට ගියේය. හොලිවුඩ් යටගියාවේ ලියූ චිත්‍රපට කීපයකම රෝයි ශෙයිඩර් ගැන ලියවුණා මතකය. විශේෂයෙන්ම 'ජෝස්' චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම ගැන.

'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන් චිත්‍රපටයේ තවත් සුවිශේෂිත චරිතයකි, 'ඇලන් චාර්නියර්'.

නිව්යෝර්ක් නගරයට කොකේන් හා හෙරොයින් මත් ද්‍රව්‍ය ගෙන්වන ප්‍රංශ මහා ව්‍යාපාරකයන් අතරේ දැවැන්ත ව්‍යාපාරිකයෙකි ඇලන් චාර්නියර්. අධ්‍යක්ෂ විලියම් ෆ්‍රයිඩ්කින් 1967 වර්ෂයේදී 'බෙල්ලෙ ඩී ජෝර්' නම් ප්‍රංශ චිත්‍රපටයක් නරඹා තිබූ අතර, එහී සුළු චරිතයක් රඟපෑ නළුවෙකු ගැන සිහිපත් විය. එහෙත් ෆ්‍රයිඩ්කින්, ඔහුගේ නම දැනගෙන සිටියේ නැත. ඔහු වහා තම නළු නිළි තෝරන අධ්‍යක්ෂක ට කීවේ ඔහුගේ විස්තර සොයා දෙන ලෙසටය. ඔහු එම නළුවා සොයා ගියේය. නළුවාගේ නම 'ෆ්‍රැන්සිස්කෝ රැබෙල්' ය. ඔහු ස්පාඤ්ඤ නළුවෙක් විය. ඔහුට ප්‍රංශ භාෂාවත්, ඉංග්‍රිසි භාෂාවත් කතා කිරීමට නොහැකිය. එහෙයින් අධ්‍යක්ෂ ෆ්‍රයිඩ්කින් ගේ බලාපොරොත්තු සුන් විය.

'ෆර්නෑන්ඩූ රේ' ව 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයට තෝරා ගත්තේ ඉන්පසුවය.

'ෆර්නෑන්ඩු රේ' ද ස්පාඤ්ඤ නළුවෙකි.

1917 සැප්තැම්බර් 20 වන දින ස්පාඤ්ඤ යේ ඉපදුණු ඔහු, සිනමාවට සම්බන්ධවී තිබුණේ 1935 දී තරමේය. ඒ ස්පාඤ්ඤ චිත්‍රපටයක් වූ 'ෆැසෙන්ඩෝ ෆිටස්'ය. එහෙත් ඔහු සැලකිය යුතු චරිතයක් රඟපෑවේ 1945 වසරේ තිරගත කළ 'තර්ස්ටි ලෑන්ඩ්' (ටිර්රා සෙඩින්ටා) නම් වූ ස්පාඤ්ඤ චිත්‍රපටයේය. එතැන් සිට ඔහු සැලකිය යුතු චිත්‍රපට සංඛ්‍යාවක් රඟපා තිබුණද, ඒවා බොහෝමයක් ස්පාඤ්ඤ හා ප්‍රංශ චිත්‍රපට විය. ෆර්නැන්ඩු රේ අප ඉංග්‍රිසි චිත්‍රපට වලින් දුටුවේ නම් ඉතා අල්ප ලෙසය. 1972 වසරේ තිරගත කළ 'ඇන්තනි ඇන්ඩ් ක්ලියෝපැට්රා' චිත්‍රපටයේ ඔහු ලෙපිඩස් ගේ චරිතය නිරූපනය කළේය. එහී මාර්ක් ඇන්ති වූයේ චාර්ල්ස්ටන් හෙස්ටන් ය. මෙය බ්‍රිතාන්‍ය විසින් නිපදවූ ඉංගී‍්‍රසි චිත්‍රපටයකි. එහෙත් එය ස්පාඤ්ඤ හා ස්විස් බසට හරවා එකී රටවල ප්‍රදර්ශනය විය. ටෙලි සවාල්ස් රඟපෑ 'ලෑන්ඩ් රයිඩර්ස්' ෆර්නෑන්ඩු රේ රඟපෑ ඇමරිකානු චිත්‍රපටයකි. ඔහු එහී පාදිලි කෙනෙකුගේ චරිතයක් රඟපෑවේය. 'චයිම්ස් ඇට් මිඩ්නයිට්', (1965), 'රිටර්න්ස් ඔෆ් ද සෙවන්'(1966), 'නවා ජෝ ජෝ' (1966) ' ද ඩෙස්පෙරට් වන්ස්'(1967), 'ටවුන් කෝල්ඩ් බාස්ටඩ්'(1971), 'ද ලයිට් ඇට් ද එඩ්ජ් ඔෆ් ද වර්ල්ඩ් (1971), වැනි චිත්‍රපට වල රඟපෑ ඔහු අධ්‍යක්ෂ ෆ්‍රැන්කො සෙෆිරෙල්ලි ගේ 'ජීසස් ඔෆ් නාසරෙත්' දැවැන්ත රූපවාහිනි චිත්‍රපට මාලාවේ 'ගාස්පර්' ගෙ චරිතය රඟපෑවේය. ඉහත සටහන් වූ ඉංග්‍රිසි චිත්‍රපට සියල්ලම පාහේ ලංකාවේද පෙන්වා ජනප්‍රිය වූ චිත්‍රපටයන් ය.

'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂක වශයෙන් ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක 'විලියම් ෆ්‍රයිඩ්කින්' තෝරා ගැනීමේ පසු බිම තුළ මා දකින සුවිශේෂිත දෙයක් නැති තරමිය. ඒ 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයට ඔහුව තෝරා ගන්නා තෙක් ඔහුගේ අතින් 'සුපර් හිට්' ගණයේ චිත්‍රපටයක් නිර්මාණය වූනු බවක් සඳහන් වී නොමැති නිසාය. ඔහුගේ මුල්ම චිත්‍රපටය වූයේ 1967 වසරේ තිරගත වූ 'ගුඩ් ටයිම්ස්' නම් වූ චිත්‍රපටය ය. එය ආදායම් අතින් අසාර්ථක වූ චිත්‍රපටයක් විය. රොබට් ෂෝ රඟපෑ 'ද බර්ත්ඩේ පාටි' ඔහුගේ ඊළඟ අධ්‍යක්ෂණය වූ අතර, එයද ආදායම් අතින් අසාර්ථක විය. ඉන්පසු ඔහු අතින් නිර්මාණ වූ චිත්‍රපටය වූයේ සංගීත විකටමය චිත්‍රපටයක් වූ 'ද නයිට් දේ රෙයිඩඩ් මින්ස්කි'ස්', ය. ජේසන් රොබඩ්ස් ප්‍රධාන චරිතය රඟපෑ මෙම චිත්‍රපටය නම් ආදායම් අතින් යම් සාර්ථකත්වයක් ලැබිණි. 'ද බෝයිස් ඉන්ද බෑන්ඩ්' ඔහු අධ්‍යක්ෂණය කළ ඊළඟ චිත්‍රපටය වූ අතර, එයද, ප්‍රේක්ෂකයන් පිළිගත්තේ නැත.

මේ තත්ත්වය මත ඔහුට 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට ලැබීම ඇතැම් විට ඔහුට ඔහුගේ වාසනාව උරගා බැලීමට ලැබීමේ අවස්ථාවක් විය හැක. ඔහු ගැන අධ්‍යයනය කරන විට, ඇත්තෙන්ම එම අවස්ථාව ඔහුගේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඇමරිකානු ඩොලර් මිලියන 2.2 කක ඇස්තිමේන්තුවට, ⁣ඩොලර් මිලියන 75 ක ආදායමක් ලැබීම, තුළ තමා සාර්ථක අධ්‍යක්ෂවරයකු යැයි ඔහුට ඔප්පු කිරීමට හැකි වූවා පමණක් නොව, එය එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේ ප්‍රධාන සම්මාන වූ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය හා හොඳම නළුවා ඇතුළුව සම්මාන 5 ක්ම දිනා ගැනීම තුළින් ඔහු ලොව දක්ෂතම අධ්‍යක්ෂක වරයෙකු බවද ඔප්පු කරන්නට විය. ඉන්පසු ද ඔහු විශාල 'මැජික්' එකක් කළේය. ඒ 'ද එක්සෝසිට්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමය. ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ඇස්තිමේන්තුවකට, ඇමරිකානු ඩොලර් මිලියන 441.3 ක ආදායමක් ලැබීමම සුපර් මැජික් එකක් නොවේද?

'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටය ආරම්භ වන්නේ 'මාර්සිල්ලී හී පොලිස් රහස් පරික්ෂකයෙකු කිසියම් සුවිශේෂිත කෙනෙකු යන එන තැන් දෙස සුපරික්ෂාකාරි වන අන්දමේ ජවනිකාවකිනි. ඔහු මේ එලවන්නට තනන්නේ මහාපරිමාණයේ කොකේන් හා හෙරොයින් ජවාරමේ නියුතු මත්ද්‍රව්‍ය ව්‍යාපාරකයෙකු පසු පසය.

එහෙත් ⁣රහස් පොලිස් පරික්ෂකයාට වඩා මත් ද්‍රව්‍ය ව්‍යාපාරකයන්ගේ සංවිධාන ජාලය බලවත් ය. පොලිස් පරීක්ෂකවරයා, හෙරෝයින් ජවාරම් කරුවා පසු පස පරීක්ෂාකාරි වෙනවාට වඩා, ජවාරම්කරුවන්ගේ ආරක්ෂකයන්ගේ උකුසු ඇස් තිබුණේ, මේ රහස් පොලිස් පරීක්ෂකවරයා වෙතය. එහී ආසන්නම ප්‍රතිඵලය වූයේ ජවාරම් කරුගේ ආරක්ෂකයා වූ 'පියේරි නිකෝලි' අතින් එම පොලිස් පරීක්ෂකවරයා වෙඩි කා මිය යාම ය.

එම මුල් සිදුවීම තුළින්ම, ඇමරිකාව තුළ මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන් මොන තරම් බලවත්ද යන්න හා එය පොලිසියට මැඩ පැවැත්වීම එතරම් පහසු නැති බව මොනවට ඔප්පු විය. චිත්‍රපටය, රහස් පරික්ෂක 'ජිමි 'පොපේ' ඩොයිල්' හා ඔහුගේ සහයක බඩී ක්ලවුඩ් වෙත හැරෙන්නේ ඉන්පසුවය.

ඒ නත්තල් සමයයි. නිව්යෝක් නගරය නත්තල් සැරසිලි තුළින් ආලෝකවත් වී තිබුණි. රහස් පරික්ෂක ජිමි ඩොයෙල් නත්තල් සීයා මෙන් සැරසී කුඩා ළමුන් පිරිසක් වට කරගෙන 'ජින්ගල් බෙල්ස්' ගීතය ගයනා කරමින් සිටි⁣ අතර, බඩි ක්ලවුඩ් එතන තිබූ සමාජ ශාලාව තුළට ගියේ මත් ද්‍රව්‍ය, විශේෂයෙන් හෙරොයින් පාවිච්චි කරන තරුණයන් ඒ සමාජශාලාව තුළ සිටින බවක් දැනගෙන විය හැක. ඔහු ඇතුළට ගොස් සමාජශාලාව හා එහී සිටි තරුණයන් එකිනෙකා පරික්ෂා කරන විට, එක් කළු ජාතික තරුණයෙක් සමාජශාලාවෙන් පැන යන්නට උත්සහා කළේය. තරුණයා එළියට පැන දුවන්නට වූ අතර, බඩි ක්ලවුඩ් සියල්ල අතහැර, ඔහු පසු පස එළවන්නට විය. කුඩා ළමුන් සමඟ ජිංගල් බෙල්ස් ගයමින් සිටි ජිමි ඩොයෙල්, බඩි ක්ලවුඩ්ස් තරුණයෙක් පසු පස එළවන දුටු විට, ඔහුද නත්තල් සීයාගේ ඇඳුම ගලවා දමා එම කළු තරුණයා පසු පස එළවන්නට විය. ඔහුව අල්ලා ගත් ඩොයෙල් හා ක්ලවුඩ්ස්, ඔහුට පහර දෙමින් ඇසුවේද, මේ මත්ද්‍රව්‍ය ගන්නා ස්ථානයන්ය.

එහෙත් මත්ද්‍රව්‍ය ව්‍යාපාර මත, මේ කළු තරුණයන් පුංචි කූනිස්සන් වැනි බව ඩොයෙල් හා ක්ලවුඩ්ස්ට වැටහුණි. ඔවුන් පැන්නිය යුත්තේ 'ඇලන් චාර්නියර්' වැනි දැවැන්ත මත් ද්‍රව්‍ය ව්‍යාපාරකයන් පිටුපස බව ද ඔවුන්ට වැටහුණි.

'ඇලන් චාර්නියර්' යනු මහා පරිමාණයේ කොකේන් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රංශයේ සිට ඇමරිකාවේ නිව්යෝක් නගරයට රැගෙන එන දැවැන්ත ව්‍යාපාරිකයෙකි.

නැව් අංගනයක්ද සතු ඔහුගේ මත් ද්‍රව්‍ය නැවෙන් පමණක් නොව, මාර්ග වාහන වලින් පවා නිව්යෝක් නගරයට ගෙනෙන බව නිව්යෝක් පොලීසියම දැන ගත්තද, ඒවා පහසුවෙන් අල්ලා ගැන්මට නොහැකි විය.

මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්ට නිව්යෝක් හී වැදගත් යැයි සම්මත වෘත්තිකයන් පවා එකතුවී තිබුණි. රූපවාහිනි මනා පෞරුෂයක් වූ හෙන්රි ඩේවර්රොක්ස්, පමණක් නොව, ප්‍රසිද්ධ නීතිඥයකු වූ ජොයෙල් වෙයින්ස්ටොක්, ද මෙම ජාලයේ සම්බන්ධකරුවන් ව්ය.

තව සති⁣ දෙකක් ඇතුළත දැවැන්ත හෙරොයින් තොගයක් නිව්යෝක් නගරයට පැමිණෙන බව, රහස් පරීක්ෂක ජිම් ඩොයෙල් ට ඔත්තුවක් ලැබුණා සේම, එය ප්‍රංශයේ සිට නැවෙන් පැමිණ, හෙන්රි ඩෙවෙරොක්ස්ගේ වාහනයේ සඟවා නිව්යෝක් නගරයට ප්‍රවාහනය වන බවද, ඔහුට දැන ගන්නට ලැබුණි. මෙහී මහ මොළකරුවා 'ඇලන් චානියර්' බව ජිමි ඩොයෙල් දැන ගත්තද, එය හරි හැටි ඔප්පු කර ගැනීමට ඔහුට නොහැකි විය. එහෙයින් ජිමි ඩොයෙල් ඇලන් චානියර් පසු පස ගියේ ඇලන්ට නොදැනුම්වත්වය. ඇලන් ට අතිසුඛෝපබෝගි වාහන, නැව් හා හෙලිකොප්ටර් තිබුණද, ඇතැම් අවස්ථාවල ඔහු ගියේ දුම්රියෙනි. ඒ මහා පරිමාණයේ මත් ව්‍යාපාරකයන්ගේ ප්‍රයෝගයන්ය. ජිමි ඩොයෙල් ඒවා ගැන දැන සිටියේය. එහෙයිනි ඔහු ඇලන් ට, නොදැනී ඔහු පසු පස ගියේ.

දුම්රිය ස්ථානයේ දී දුම්රිය නවතා තිබෙන විට, ඇලන් එහී නඟින විට, ජිමී ද වෙන පැත්තකින් නඟින්නට විය. දුම්රිය යෑමට තව වේලාව ඇති හෙයින්, ඇලන් එයින් බසින විට, ජිමී ද ඇලන්ට නොදැනෙන සේ වෙන පැත්තකින් බැස්සේය. එහෙත් යලි ටික වේලාවකින් ඇලන් දුම්රියට නඟින විට නැවතත් ජිමීට වෙනත් දොරටුවකින් නඟින්නට සිදු විය. මෙසේ දුම්රිය යනතෙක් ඔවුන් දෙදෙනා දුම්රියෙන් බැසීම හා නැඟීම කරනා අතර, අවසානයේදී දුම්රිය යන්නට තප්පර කීපයකට පෙර, ඇලන් දුම්ර්යනේ බැස්සේය. එය දුම්රිය තුළ සිට දුටු ජිම් ඇලන්ට නොපෙනී, වෙනත් පැත්තකින් දුම්රියෙන් බැස්සද, එසැණින්ම ඇලන් දුම්රියට නැඟුණු අතර දුම්රිය ඉදිරියට අදින්නට විය. දුම්රිය අදින විටම සියලු දොරවල් අගුල් වැටෙන නිසා, ජිමීට දුම්රියට නැඟ ගැන්මට නොහැකි විය. ඇලන් ගේ මුහුණට සමච්චල් හිනාවක් නැඟුණේ ජිමී කිසිවක් කර කියා ගැන්මට නොහැකිව වේදිකාවේ අසරණව තමා දෙස බලා සිටින ආකාරය දුටු විටය. ඇඳී යන දුම්රියේ සිට ඇලන් තමා දෙස සමච්චල් සිනාවක් පානු දුටු පසුය ජිමී දැන ගත්තේ මෙතෙක් තමා ඇලන්ට පිටුපා කෙරූ හැම දෙයක්ම ඇලන් දැන සිටි බව. මහපරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්, පොලිස් රහස් පරීක්ෂකයන්ට වඩා කෙතරම් ඉදිරියෙන් සිටින්නේද බව ජිමි ඩො⁣යෙල් ට පවා වැටහුණේ මේ සිදුවීමේදී තමා රැවටුණු පසුවය.

රහස් පරීක්ෂක ජිමී ඩොයෙල් යනු බොහෝ කලබලකාරි පුද්ගලයෙක් විය. ඔහු සුළු දෙයටත් කිපෙන, නිතරම අශිෂ්ට වචන කියමින්, තම සහයකයා වූ බඩී ක්ලවුඩ් සමඟද ආරවුල් ඇති කර ගන්නා චරිතයක් වූ, අතර, ඇලන් චාර්නියර් යනු ඉතාමත් ඉවසිලිවන්ත, බොහොම නිවිසැනසිල්ලේ, කථා කරන පුද්ගලයෙක් විය.

'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටය තුළදී අප බොහෝ විට දකින්නේ පොලිසියට පහසුවෙන් මත් ව්‍යාපාරිකයන්ව ඩැහැ ගැනිමට නොහැකි බවකි. පොලිසියට වඩා ඔවුන් ඉතාමත් සූක්ෂම වී තිබුණි. ඇලන් චානියර් ගේ බොහෝ මත් ද්‍රව්‍ය ගනු දෙනු වලදී ඔහුගේ ආරක්ෂකයා වී සිටියේ පියරේ නිකෝලි ය.

මුල්ම පොලිස් කරුවාව වෙඩි තබා මරා දැමූ ලෙසට, රහස් පරික්ෂක ජිමී ඩොයෙල්ව මරා දැමුවහොත් මෙි පසු පස පන්වන එක හෝ නැවතී යනු ඇතැයි නිකෝලිට සිතුණි. එහෙයින් ඔහු ජිමී ව මරා දමන්නට කීප විටක්ම උත්සහා ගතී. එහෙත් ඒවා මඟ හැරුණි. උස් දුම්රියකට ගොඩවන, නිකෝලිව, ජිමී හඹා යන්නට විය. නිකෝලිව අල්ලා ගන්නා ලෙස, ජිමි දුම්රිය තුළ සිටි පොලිස් නිලධාරියෙකුට කෑ ගසා කී අතර, පොලිස් නිලධාරියා නිකෝලිව මෙල්ල කරන්නට යන අතරේදී නිකෝලේ තැබූ වෙඩි පහරකින් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් විය.

පසුව පාරේ යන වාහනයක් බලෙන් පැහැර ගන්නා ජිමී, එම මෝටර් රථයෙන් නිකෝලි යන දුම්රිය ලුහුබඳීයි. 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයේ උද්වේගකර මෙන්ම එක් ත්‍රාසජනක අවස්ථාවක් ජිමී ගේ මේ කාර් එලවීම විය. එසේ හඹා යන ජිමීගේ වාහනය පාරේ යන වාහන ගණනාවක්ම හප්පා ගෙන යන්නට විය.

තමාව ලුහුබඳීන බව වටහාගත් නිකොලි, මැදිරි හරහා ඉදිරියට යන්නට විය. ඔහුට බාධා කරමින් ඔහුව අල්ලන්නට එන පොලිස් නිලධාරින්⁣ට ඔහු වෙඩි තබන්නට විය. ඉන්පසු ඔහු දුම්රිය රියදුරු පෙට්ටියට ගොස් දුම්රිය රියදුරාට තුවක්කුව පෙන්වා තමාට උවමනා තැනට යාමට උපදෙස් දුන්නද, දුම්රිය රියදුරාට හෘදාබාදයක් සෑදුණි. ඒ හෙයින් දුම්රිය පාලනයෙන් තොර විය. හදිසි ධාවන තිරිංගයක් ක්‍රියාත්මක වූ හෙයින් එයින් ඇතිවූ තිගැස්සීමෙන් නිකොලීව එළියට විසි වෙන්නට විය. ඔහු පසු පස හඹා ආ ජිමී, නිකෝලාට වෙඩි තබා ඝාතනය කළේය.

මේ අතර, මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූ ඇලන් ගේ කල්ලියේ සිටි ඩෙවෙරියොක්ස් හා ලින්කෝල්ව වාහන සමඟ පොලිසියට හසුවන්නට විය. පොලිසියේ සිටි ජිමී හා ක්ලවුඩ් ඇතුළු කණ්ඩායම මත් ද්‍රව්‍ය සොයමින් වාහනයේ සීට් කෑලි කෑලිවලට ඉරා දැමූ නමුත් ඔවුන්ට කිසිවක් හමුවන්නේ නැත. නමුත් ක්ලවුඩ් කියන්නේ වාහනයේ නියමිත බරට වඩා කිලෝ ග්‍රෑම් 54 ක් වැඩි හෙයින් මෙම වාහනයේ අනිවාර්යයෙන්ම මත් ද්‍රව්‍ය තිබිය යුතු බවය. ඔවුන් තව දුරටත් සොයා බැලීමේදී, වාහනයේ රොකර් පැනල් තුළ සඟවා තිබූ හෙරෝයින් බෑග් සොයා ගත හැකි විය.

මේ අතර ඇලන් චානියර් ඔහුගේ ගැනුම් කරුවෙකු වූ වෙයින්ස්ටොක් හමුවීම සඳහා වෝඩ්ස් දූපතේ පැරණි කර්මාන්ත ශාලාවකට යයි. ඒ යන්නේ, වාහනයේ රොකර් පැනල් තුළ හෙරොයින් පැකට් සඟවා ගෙනය. ඔහු කර්මාන්ත ශාලාවට ගොස් එම රොකර් පැනල් ඉවත් කර, වෙයින්ස්ටොක්ට එම හෙරොයින් බෑග් පෙන්වන්නට විය. ඔහුගේ රසායනඥයා එයින් එක් බෑගයක් ගෙන එය පරික්ෂාකර, එහී ගුණාත්මක බව තහවුරු කරන්නට විය. රොකර් පැනල් එකෙන් ඉවත් කෙරූ හෙරොයින් බෑගයන් වෙනුවට එතන පිරවුණේ වෙයින්ස්ටොක්ගෙන් ඒ වෙනුවට ලැබුණු මුදල් තොගය ය. ඇලන් චානියර්ට අවශ්‍ය වූයේ එය ඉක්මනින් ප්‍රංශයට රැගෙන යාමටය. ඔහු ගේ රථය පැදවූයේ 'සල් ලින්කන්'ය.

මොවුන් එන මග අසුරා තිබුණේ ජිමි ඩොයෙල් හා ක්ලවුඩ් ඇතුළු පොලිස් හමුදාවය. එය කිසිසේත් ආතර් චානියර් බලාපොරොත්තු වූ දෙයක් නොව. සල් ලින්කන් රථය වහාම අනෙක් පසට හරවා නැවත වෝඩ්ස් දූපතේ කම්හල පැත්තට යන්නට විය. කම්හලට ගිය සැණින්ම ඔවුන් මින් විනාඩි කිහිපයකට පෙර හෙරොයින් හා මුදල් හුවමාරු කරගත් වෙයින්ස්ටොක් හා ඔහුගේ සගයන්ට පොලිසිය ලුහුබඳින බව කීහ. ඔවුන් සියල්ලම තැන් තැන්වල සැඟවෙමින් පොලිස් හමුදාවට වෙඩි තියන්නට විය. ඇතැම් අය පැන යන විට පොලිසියට අසුවිය. කෙසේ හෝ ඔවුනොවුන් හා වෙඩි හුවමාරුවක් ඇති විය. කීප දෙනෙක් මිය ගිය අතර වෙයින්ස්ටොක් ඇතුළු අනෙක් අයව ජිමී, හා ක්ලවුඩ් ඇතුළු පොලිස් කණ්ඩායමට යටත් කර ගන්නට හැකි විය. ජිමී පාළුවී ගිය පරණ කම්හල තුළ සෙව්වේ පැන ගිය මහාපරිමාණ හෙරොයින් ජවාරම් කරු වූ ආතර් චානියර් වය. එහෙත් ජීමී ඩොයෙල් හෝ ක්ලවුඩ් ඇතුළු පොලිස් කණ්ඩායමට නම් ආතර් චාර්නියර් ව කිසි දිනයක සොයා ගත නොහැකි විය.

පොලිසිය විසින් අල්වා ගත් වෙයින්ස්ටොක් හා ඔවුනගේ මත්ද්‍රව්‍ය සෙසු ව්‍යාපාරිකයන්, කීප දෙනෙක්වම ප්‍රමාණවත් සාක්කි නොමැති කමින් නිදොස් විය. අනෙක් අයටද ලැබුණේ බොහොම ලිහිල් වූ දඬුවම් ය. වෙයින්ස්ටොක් ට පොලිසිය විසින් අධිචෝදනා ගොනු කෙරුවද, එයද නිසි සාක්ෂි නොමැති නිසා නිෂ්ප්‍රභා විය. ඇතැම් අයට ලැබුණේ සිර දඬුවම් නොව, දිනපතා සිර ගෙදරට පැමිණ සේවය කිරීමටය.

රහස් පරීක්ෂක ජිමී ඩොයෙල් හා ඔහුගේ සහයක බඩී ක්ලවුඩ්ව, නාකොටික් අංශයෙන් මාරු කළේ, ඔවුන් ඔවුනගේ මෙහෙයුම සාර්ථකව නොකළ නිසාය. ඔවුනට වඩා ආතර් චානියර් ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරකයන් බලවත් විය. නාකොටික් අංශයෙන් ජිමී හා ක්ලවුඩ්ව ඉවත් කළද, යළි ඔවුන්ව නාකොටික් අංශයටම මාරු කළහ. සොයා ගැන්මට නොහැකි වූ හෙරොයින් මත් ද්‍රව්‍ය ව්‍යාපාරක ආතර් චානියර් , ප්‍රංශයේ සිටින බව ආරංචි වූවද, නිව්යෝක් පොලිසියට, ඔහු පිළිබඳව ප්‍රංශ රජයට බල කිරීම හෝ ඔහුව ඇල්ලීමට කිසිසේත් නොහැකි වූයේ ඇමරිකාවේ නීතිය බලපාන්නේ ඇමරිකාවට පමණක් නිසාය. මෙයින් අන්තයටම පරාජය වූයේ ජිමී ඩොයෙල් හා බඩී ක්ලවුඩ් ඇතුළු ඇමරිකානු පොලිසියය. ආතර් චානියර්, වෙයින්ස්ටොක් ඇතුළු මහාපරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ජයග්‍රහණය කළහ.

'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' එම වසරේ ආදායම අතින් මෙන්ම, සිනමා ප්‍රමිතිය අතින්ද උසස් චිත්‍රපටයක් විය. එය එම වසරේ ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළේදී සම්මාන 8 කට නිර්දේශ විය. එලෙසම එම වසරේ 'හොඳම චිත්‍රපටය', (පිලිප්.ඩී.අන්තෝනි), හොඳම අධ්‍යක්ෂක (විලියම් ෆ්‍රයිඩ්කින්),හොඳම නළුවා (ජීන් හැක්මන්), හොඳම තිර නාටකය (අර්නම්ට් ටයිඩිමෑන්), හොඳම සංස්කරණය (ජෙරල්ඩ් බී ග්‍රීන්බර්ග්), සම්මාන ලැබීය. නිර්දේශ වූවන් අතර, හොඳම සහයක නළුවා ( රෝයි ශෙයිඩර් ), හොඳම කැමරා අධ්‍යක්ෂක (ඔවෙන් රොයිස්මන්), හොඳම ශබ්ද පරිපාලක (ක්‍රිස්ටෝපර් නිව්මන් සහ තියොඩෝර් සොඩර්බර්ග්), විය.එලෙසම ⁣ලොව බොහෝ ප්‍රධාන සම්මාන උලෙළන්හීද ජීන් හැක්මන්ට හොඳම නළුවාට හිමි සම්මාන හිමි වුයේ මේ 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයේ රඟපෑම සඳහාය.

මෙහි ලද සාර්ථකත්වය හා ජනප්‍රියත්වය මත වර්ෂ 1975 දී මෙහි දෙවන කොටස ලෙස ' ද ෆ්‍රෙන්චි කනෙක්ෂන්-2' නමින් නිෂ්පාදනය කර තිර ගත විය. එය නිෂ්පාදනය ක⁣ළේ රොබට් එල් රොසෙන්ය. ජෝන් ෆ්‍රෑන්ක්හෙයිමර් මෙය අධ්‍යක්ෂණය කළේය. මෙහිද 'ජීන් හැක්මන්' තම පුරුදු චරිතය වූ රහස් පරීක්ෂක ජිමී ඩොයෙල් ගේ චරිතය රඟපෑ අතර, හෙරොයින් මත් ද්‍රව්‍ය ව්‍යාපාරික ඇලන් චාර්නියර් ගේ චරිතය ෆ්‍රනාන්ඩු රේ ම රඟපෑවේය.

ඇමරිකානු ඩොලර් මිලියන 4.3 ක ඇස්තිමේන්තුවකට නිෂ්පාදකයන්ට ලැබුණු බොක්ස් ඔෆිස් ආදායම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 12.5 ක් පමණි. එය 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' මුල් චිත්‍රපටය (ඇස්තමේන්තු ව ඩොලර් මිලියන 1.8ට ලැබූ මුදල වූ ඩොලර් මිලියන 75 ) හා සාපේක්ෂව ඉතාමත් අඩු මුදලකි.

විලියම් ෆ්‍රයිඩ්කින් අධ්‍යක්ෂණය කළ, ජීන් හැක්මන්, ෆ්‍රනැන්ඩු රේ හා රෝයි ශෙයිඩර් රඟපෑ 'ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටය තව ශත වර්ෂ ගණනාවකට හෝ වලංගුවන, අති සාර්ථක අපූරුම චිත්‍රපටයකි.

හැම බටහිර චිත්‍රපට රසිකයෙක්ම නැරඹිය යුතුම.

shaunmaxd@gmail.com

ශෝන් මැක්ස්මස් දිසානායක

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4