සිනමාවෙන් ඩොලර් ගේන්නේ මෙහෙමයි. -  ප්‍රසන්න විතානගේ 

 සිනමාවෙන් ඩොලර් ගේන්නේ මෙහෙමයි

සිනමාවෙන් ඩොලර් ගේන්නේ මෙහෙමයි

සිනමාවේදී ප්‍රසන්න විතානගේ

'ඩොලර් අර්බුදය' අද අප රටේ සමස්තය කණපිට පෙරළීමට සමත්ව ඇත. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, අහස උසට යන බඩු මිල, අතේ මුදල් තිබුණද මිල දී ගැනීමට භාණ්ඩ නොමැතිකම, භාණ්ඩ ගෙනා නැව්වලින් ඒවා ගොඩ බා ගැනීමට නොහැකි වීම ආදී මෙකී නොකී සියලු ගැටලුවලට ආණ්ඩුවත් ජනතාවත් මුහුණ දෙන්නේ ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යෑම සහ අප රට සතු විදේශ විනිමය සංචිතවල හිඟය නිසා බව අද ළදරුවන් පවා දන්නා කරුණකි. විවිධ හේතු කියමින් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් එවීම නවතා දැමීමෙන් මෙන්ම තමන් සතු ඩොලර් සඳහා වැඩි අගයක් ලබා ගැනීමට හොර පාරෙන් මාරු කිරීමේ අරුම පුදුම දේශප්‍රේමයක් ක්‍රියාත්මක වන මේ මොහොතේ කවුරුන් හෝ ඩොලරයක් ලංකාවට ගෙන එයි නම් ඊට වඩා පිහිට වන 'දෙවියෙකු' නැති තරම්ය. ඒ අතර බොහෝ දෙනා පිරිහෙමින් පවතින්නේ යැයි පවසන සිනමා කර්මාන්තය ඩොලර් උපදමින් රට ගොඩ ගැනීමට හැකි සුරබිදෙනක් බවට පත් කර ගත හැකි ආකාරය සරසවියට පවසන ලද්දේ දේශීය මෙන්ම විදේශීය සිනමා අත්දැකීම් රැසක් සහිත දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලද ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ විසිනි. දැන් අපි ඒ පැහැදිලි කිරීම දෙස බලමු.

- මොන තත්ත්වයක් යටතේ හෝ සරසවිය පුවත්පත සිනමාව අතහැරියේ නෑ. ඊ පුවත්පත හෝ කරනවා
- සිනමාකරුවන්‌ට පුළුවන් විදේශීය ආයෝජන ලංකාවට ගේන්න
- අපට අවශ්‍ය ආකල්පමය වෙනසක් පමණයි

ඔබ කියන ආකාරයට අප අවතක්සේරු කරමින් සිටින්නේ කප්රුකක් බඳු කර්මාන්තයක්?

ඔවු. දේශීය සිනමා කර්මාන්තය මොන අර්බුද යටතේ වුවත් 2019 වන තුරු රුපියල් බිලියන 1.7ක පමණ වාර්ෂික ආදායමක් ඉපදුවා. ඒත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වයන් සහ වර්තමාන ආර්ථික අර්බුද හමුවේ ඉතාමත්ම අභියෝගාත්මක මුහුණුවරක් ගත්තා. ශිල්පීන්ගේ අය කිරීම් ඉහළ නොගියාට, ආහාර මිල, ඉන්ධන මිල ආදි සියල්ල ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය යටතේ බොහෝ දෙනා උකටලීව ඉන්නවා සිනමා කර්මාන්තය දැන් ඉවරයි කියලා. හැබැයි එහෙම සිතා කටයුතු කිරීම අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ. ඕනෑම අභියෝගයක් හමුවේ අපට ඉදිරියට යා හැක්කේ කෙසේ ද යන හැකියාව උරගා බැලීමයි අප කළ යුත්තේ.

මම මෙතැනදි මතු කරන්න හදන්නේ මේ රටට අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන විදේශ විනිමය හිඟයට මෙයින් ලබා ගත හැකි සහනය පිළිබඳවයි. බොහෝ දෙනා නොදන්නවා වුණාට සිනමා කර්මාන්තය යනු විදේශ විනිමය ගෙන එන කර්මාන්තයක්. එසේ වන්නේ ලංකාවේ තිබෙන විවිධ මනරම් දර්ශන තල විදේශීය චිත්‍රපට සඳහා සපයන ආයතන අතීතයේ සිට මෙන්ම විශේෂයෙන් අසූව දශකයේ සිට විශාල වශයෙන් විදේශ විනිමය වගේම කීර්තිය ලංකාවට ගෙන දී තිබෙන නිසා. අපේ රටේ කෙරෙන විදේශ නිෂ්පාදනයකදී මෙරටට මුදල් ලැබෙන්නේ අවසානයේ ඩොලර්වලින්. ඒ එන අය ගෙනෙන ඩොලර් රුපියල් බවට පත් කරලයි වියදම් කරන්නේ. ඒවා තමයි විදේශ මුදල් සංචිත කියා අප කියන්නේ.

කොහොම ද ඒ සංචිත සිනමාවෙන් ගෙන එන්නේ?

 මේ මොහොතේ අපේ රටේ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න යම් කිසි කාලයක් තුළ රජය කටයුතු කළොත් අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන්න පුළුවන්. එය කරන විදිහක් තිබෙනවා.

ඒ ක්‍රමය පැහැදිලි කරමු?

පසුගියදා ප්‍රංශයේ පැවැතුණු කාන් චිත්‍රපට උලෙළේදී ඉන්දියානු රජය සහ එහි ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදල ප්‍රකාශයට පත් කළා ඉන්දියානු රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ විදේශ විනිමය ඉපැයීම සඳහා බදු සහන ක්‍රමයක්. ඒ බදු සහනය වන්නේ විදේශීය නිෂ්පාදකයකු චිත්‍රපටයක් සඳහා ආයෝජනය කළොත් එම චිත්‍රපටය රූපගත කළ පසු එම චිත්‍රපටයට වැය කළ මුදලින් සියයට 30ක් ආපසු නිෂ්පාදකයාට ලබා දෙනවා අනුමත කළ ගණකාධිකාරී ආයතනයක් විසින් ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව. දැනට එය සිදු කරන්නේ ඉන්දීය රුපියල් කෝටි දෙකක උපරිමයකට යටත්වයි.

මේ වන විට මමත් රේඛීය නිෂ්පාදනයෙන් සම්බන්ධ වූ චිත්‍රපටයක් මේ බදු සහන ක්‍රමය යටතේ ඉන්දියාවේ රූගත කෙරෙනවා. හැබැයි ඒ චිත්‍රපටයේ කතාව සිදු වුණේ ලංකාවේ. එහෙත් බදු සහන ක්‍රමය නිසා එය රූගත කිරීමට ඉන්දියාව තෝරා ගැනුණා. මේ බදු සහනය දකුණු ආසියාවෙන් ලබා දෙන පළමු රට ඉන්දියාව. හැබැයි නැඟෙනහිර ආසියාව ගත්තොත් මැලේසියාව මේ බදු සහනය ක්‍රියාත්මක කළ නිසා බොහෝ ඇමෙරිකානු චිත්‍රපට මැලේසියාවේ රූගත කෙරුණා. දැන් රටක් ලෙස අප වඩාත් අභියෝගයට ලක් වන්නේ ලංකාවේ රූපගත කිරීම සඳහා කැමැත්තෙන් සිටින චිත්‍රපට පවා මේ බදු සහන ක්‍රමය නිසා ඉන්දියාවට යන්න ඉඩ වැඩි වීම හේතුවෙනුයි.

ලංකාවේ නම එහි ද්විපාර්ශ්වික එකඟතා ලැයිස්තුවේ තිබුණේ නෑ?

 ඔවු. නැතිවෙන්න හේතුව මොකක්ද? ලංකාවේ කවුරුත් ඉන්දියාවට ගිහින් රූපගත කිරීම් කරන්නේ නැති වීමයි. ඒ අපේ සිනමා කර්මාන්තය කුඩා නිසා. ඒත් මේ ආයෝජන එන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ලංකාවට එන ආයෝජනයත් එන්නේ යුරෝපයෙන් හෝ ඇමෙරිකාවෙන්නේ. ඒ රටවල නම් තිබුණානේ ඒ ලැයිස්තුවේත්. ඒ රටවල් තමයි ඉන්දියාවට යන්න ඉඩ තිබෙන්නේ.

බදු සහන ක්‍රමයක් පිළිබඳ ලංකාවෙත් යෝජනාවක් ආවා නේද?

 ඉන්දියාව මේ මැයි මාසයේ සිට මේ බදු සහන පිළිබඳ ප්‍රකාශය නිකුත් කළත්, ඇත්තෙන්ම ලංකාවේ මේ බදු සහනය අප රජයෙන් ඉල්ලා සිටියේ 2016 වසරේයි. එවක අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ ඩිජිටල්කරණය සහ චිත්‍රපට බෙදාහැරීමේ කමිටුව යෝජනා කළා ඔය ක්‍රමය. එහෙත් රටේ ඇති වුණ තත්ත්වය හෝ කුමක් හෝ හේතුවක් නිසා එය ක්‍රියාත්මක වුණේ නෑ. මම මේ දේ කතා කරන්නේ සියලුම සේවා පහසුකම් සපයන අය, නිෂ්පාදකවරු ආදීන් වෙනුවෙන්. අද අප මෙය ක්‍රියාත්මක කළොත් ඔවුන් සියලු දෙනාට එන්නතක් ලැබුණා හා සමාන වනවා මේ තත්ත්වය යටතේ විදේශීය චිත්‍රපට ලංකාවට ගෙන්වුවහොත්. මම දන්නා තරමින් පසුගියදාත් විශාල විදේශ කණ්ඩායමක් අරුගම්බේ චිත්‍රපටයක් නිර්මාණය කළා. හිතන්න ඔවුන්ට ගිහින් කියන්න පුළුවන් මේ සුබ පණිවිඩය. මේ රටට එන විදේශීය නිෂ්පාදකවරු දන්නවා මේ රට චිත්‍රාගාරයක් වගේ බව. අපට පැය කීපයක් ඇතුළත විවිධාංගීකරණයට ලක් වූ පරිසරයන්ට ළඟා වීමේ හැකියාව තිබෙනවා. ජනතාව මිත්‍රශීලියි. වැඩ කරන කාර්මික පිරිස පිළිබඳ ඔවුන් ඉතා ප්‍රසාදයෙන් පසුවෙනවා. ඒ නිසා එක් අතකින් කර්මාන්තය නඟා සිටුවීමටත් අනෙක් අතින් මේ රටට අත්‍යාවශ්‍යව ඇති විදේශ විනිමය ලබා ගැනීමටත් හොඳම දේ මෙවැනි බදු සහනයක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න කටයුතු යෙදීම සහ එය ලෝකයට ප්‍රකාශ කිරීමයි. එය ක්‍රියාත්මක කළ හැකි වුවහොත් දැනට මේ රට පිළිබඳ විදේශික ආයෝජකයන් අතර තිබෙන ප්‍රසාදය තවත් දෙගුණ තෙගුණ වෙනවා. මොකද ඔවුන්ට කිසියම් ආකාරයකට ආර්ථික වශයෙන් ලාභදායී ආයෝජනයක් ලංකාවේ රූගත කිරීම. එයට කිසිවෙකුගේ මුදලක් වැය වන්නේ නෑ. අප කරන්නේ ඔවුන් වැය කරන මුදලින් ඔවුන්ටම සියයට තිහක් ලබා දීමයි. ඒ දිරි ගැන්වීම නිසා අපේ ආයෝජන වැඩි වෙනවා. එනිසා වත්මන් අගමැතිවරයාගේම යෝජනාව ක්‍රියාත්මක කරන්න හොඳම වෙලාවත් මෙයයි.

ඔබ එසේ කීමට හේතුව?

 මොන තත්ත්වයක් යටතේ හෝ ඔබලාගේ සරසවිය පුවත්පත සිනමාව අතහැරියේ නෑ. ඊ පුවත්පත හෝ කරනවා. විද්‍යුත් මාධ්‍යයත් ඒ වගේ. අනෙක පසුගිය කාලයේ ප්‍රදර්ශනය කළ චිත්‍රපට කෙසේ හෝ ප්‍රේක්ෂකයන් නරඹා තිබෙනවා. ඒ වගේම රහසක් නෙවෙයි පසුගිය දා ලංකාවේ ප්‍රදර්ශනය වුණු දෙමළ චිත්‍රපට ආදිය අතිශය සාර්ථකව තිරගත වුණා. එහි තේරුම අපට ප්‍රේක්ෂකයන් සිටිනවා යන්නයි. ඒ නිසා අපට අවශ්‍ය ආකල්පමය වෙනසක් පමණයි. ඒ වගේම අප සියලු දෙනාටම අවස්ථාවක් ලැබී තිබෙනවා මේ රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය රැගෙන ඒමට. ඒ නිසා මේ අවස්ථාව ලබා දෙන්නේ නම් සේවා පහසුකම් ලබා දෙන ආයතන, ඒවායින් නඩත්තු වන සිය දහස් ගණනක් පිරිසට ඔවුන්ගේ එදිනෙදා ජීවිත පවත්වා ගෙන යෑමට ඉතාම හොඳ රුකුලක් වනවා. අපට චිත්‍රපට වැඩිපුර ආවොත් ඒ වටා ඍජු හා වක්‍ර ආකාරයෙන් රැකියා අවස්ථා රැසක් බිහි වෙනවා.

ඒ චිත්‍රපට කෙරෙන ආකාරයත් පැහැදිලි කරමු?

රේඛීය නිෂ්පාදකයකු සම්බන්ධ කරගෙන බද්ධව තමයි නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ මේ මොහොතේ ක්‍රියාත්මක වන ක්‍රමය හා සමාන වැඩපිළිවෙළක් තමයි මෙහි පවතින්නේ. ලංකාවේ නිර්මාණය කෙරෙන විදේශීය චිත්‍රපටයක තිර රචනයක් ජාතික චිත්‍රපට සංස්ථාවෙන් අනුමත කළ යුතුයි. මේ ක්‍රියාවලියේදීත් ඉන්දියානු චිත්‍රපට සංවර්ධන අරමුදලින් එරට රූගත කෙරෙන චිත්‍රපට අනුමත විය යුතුයි. මෙතෙක් ලංකාවේ හා ඉන්දියාවේ තිබූ නිති පද්ධති බොහෝ දුරට එක සමානයි. එහෙත් මේ මාසයේ සිට වෙනස් වන්නේ ලංකාව කිසිදු අනුග්‍රහයක් නොදක්වද්දී ඉන්දියාව සියයට තිහක් ආපසු දීම මත පමණයි.

එවිට ඉන්දියානු ක්‍රමය අනුව ඔවුන්ගේ කාර්මික ශිල්පීන් යොදාගත යුතුයි වැනි එකඟතාවකුත් එහි අඩංගු වෙනවා නේද?

 ඉන්දියානු යෝජනා ක්‍රමය යටතේ ඉන්දියානු ශිල්පීන් සියයට 15ක් යොදා ගත්තොත් ඒ ආයෝජකයා ඒ සඳහා දිරිමත් කිරීමක් ලෙස තවත් ඩොලර් හැටදහසක දිරි දීමනාවකුත් ඔවුන් දෙනවා. එය ඒ රටේ ශිල්පීන්ට වාසි වන ආකාරයෙන් යොදාගෙන තිබෙන්නේ. මෙය අපිත් කළ යුතුයි. අපි බැලිය යුත්තේ කර්මාන්තය පවත්වා ගැනීම සහ ශිල්පීන්ට ලැබෙන අත්දැකීම් සහ ආදායම සම්බන්ධවයි. ඒ කෙසේ වෙතත් ඒ සියලු ආපසු ගෙවීම් ඉන්දියන් රුපියල් කෝටි දෙකක උපරිම සීමාවට යටත්වයි ඔවුන් ලබා දෙන්නේ.

ඔබේ රේඛීය නිෂ්පාදනය පිළිබඳව කියමු?

'ලාෆ් ඔෆ් ලක්ෂ්මි' චිත්‍රපටයට තමයි මම රේඛීය නිෂ්පාදනයෙන් දායක වන්නේ. එය මට බාර දීමට හේතුව වන්නේ මේ කතාව ලංකාවේ සිදුවීමක් නිසා ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමටත් එක්කයි. මම ඉතා කැමැත්තෙන් දායක වෙනවා ඒ චිත්‍රපටයට. මෙහි අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ උපත ලද ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කෙනෙක්. එරට නාට්‍යකරුවෙක්. මෙය ඔහුගේ පළමු චිත්‍රපටය. ඒ වගේම එරට කීර්තිමත් නිෂ්පාදකවරයකු වන ජෝන් ලේනාඩ් තමයි මෙය නිෂ්පාදනය කරන්නේ. ඔහු සම්මානනීය අධ්‍යක්ෂවරයකුත් වනවා. ඔහුගේ චිත්‍රපටවලින් නිරූපණය වන මානුෂීය ගුණය පිළිබඳ මට ඉතා පැහැදීමක් තිබෙනවා. ඒ වගේම ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් කියන ආයතනයයි මේ නිෂ්පාදනයට දායක වන්නේ. රකශ්‍රී භාසු තමයි මෙහි ප්‍රධාන විධායක නිලධාරී. මෙය 2023 ජනවාරී දකුණු ඉන්දියාවේ රූගත කෙරෙනවා. පෞද්ගලිකව මට මෙසේ රේඛීය නිෂ්පාදකයකු ලෙස කටයුතු කිරීමට ලැබීම සතුටක්.

එහෙත් මගේ යුතුකමක් තිබෙනවා ඉන්දියාවේ කෙරෙන මේ දේ පිළිබඳ ලංකාවත් දැනුම්වත් කරලා මේ මොහොතේ රටට අත්‍යාවශ්‍ය මූලික කරුණක් සපයා ගන්න කිසියම් ආකාරයකින් දායක වන අතර අපේ සිනමා කර්මාන්තයේ නියැළෙන විශාල පිරිසක් ජීවත් කරවීමට දායක වීමට.

ලංකාවේ මෙය ක්‍රියාත්මක වනවා නම් එය විය යුත්තේ කෙසේද?

 ජාතික චිත්‍රපට සංස්ථාවට තිර රචනය ඉදිරිපත් කර දැනට තිබෙන ක්‍රමවේදයට අනුමත කරගත යුතුයි. එවිට සල්ලි දෙන නිසා ඕනෙ එකක් කරගන්න බැරිව යනවා. ඉන් පසු මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අධීක්ෂණය වනවා සාමාන්‍ය චිත්‍රපටයක වගේ. ඒ වගේම පිළිගත් වරලත් ගණකාධිකාරීන් විසින් ගණනය කරන ලද ආදායම් වාර්තාව ලබා දිය යුතුයි. සමහර රටවල මේ මුදල ආපසු දෙන්නේ චිත්‍රපටය නැරඹූ පසුවයි. ඇතැම් රටවල චිත්‍රපටයේ මුල් සංස්කරණය පෙන්වූ පසුවයි මුදල ගෙවන්නේ. ඒ නිසා ඇත්තටම කර්මාන්තය පිළිබඳ අධිකාරී බලයක් සහිත වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවට නිසා එය ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ආයතනය මඟිනුයි. එහෙත් ඒ සඳහා දැනට පවතින නිෂ්පාදන අංශය වඩාත් පුළුල් කර ශක්තිමත් කළ යුතුයි.

දේශීය චිත්‍රපට සඳහා විදේශීය ආයෝජකයන් විසින් මුදල් යෙදවුව හොත් ඒ මුදලට ඔය බදු සහන ලැබනවා ද?

 එය මෙතෙක් ආවරණය වී නොතිබුණත් හරි විදිහ නම් ඔවුන්ටත් ඒ සහන ක්‍රම ඒ ආකාරයෙන්ම ලැබිය යුතුයි.

දේශීය නිෂ්පාදනයක් සඳහා දැනට පූර්ව අනුමැතියක් අවශ්‍ය නෑ. එනිසා මෙය ගෙනෙන්නේ විදේශීය චිත්‍රපට සඳහා පමණයි. දැනට සිංහල භාෂාවෙන් කෙරෙන චිත්‍රපටයකට විදේශිකයකු ආයෝජනය කළොත් ඒ සහනය ලැබෙන්නේ නෑ. ඒත් ඉන්දියාවේ ප්‍රාන්ත අතරත් යම් බදු සහන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් දේශීය නිර්මාණයක් සඳහා විදේශිකයෙකු ආයෝජනය කළත් ඔවුන්ටත් ඒ පහසුකම ලැබිය යුතුයි. මොකද එයින් අපට නැති වන දෙයක් නැහැ. සිනමාව කර්මාන්තයක් ලෙස රජය පිළිගත් බවට ප්‍රචාරයක් ලැබුණා පසුගිය කාලේ. ඒ නිසා විදුලි බිලත් කර්මාන්ත ගණයට ගණනය කරන්න කියන සාධාරණ ඉල්ලීම අපි කරනවා. ඒ වගේම කර්මාන්ත සඳහා ලැබෙන සියලු සහන සිනමා කර්මාන්තයට ලැබිය යුතුයි. විනෝද බද්ද අඩු කිරීම හෝ යම් කාල සීමාවකට යටත්ව ඉවත් කිරීම හෝ කළ යුතුයි. සිනමාකරුවන්‌ට පුළුවන් විදේශීය ආයෝජන ලංකාවට ගේන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් දිරිදීම් රජයෙන් සිදු විය යුතුයි. ඇත්තෙන්ම අපි සියලු දෙනාම ඉදිරියට පැමිණිය යුතු වන්නේත් මේ අමාරුම මොහොතේ තමයි.

 අරුණි මුතුමලී

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4