ජීවිතය කළමනාකරණය කරන්න සැලසුම් අපට  තියෙන්න  ඕනේ

 ජීවිතය කළමනාකරණය කරන්න සැලසුම් අපට  තියෙන්න  ඕනේ

  අනූව දශකයේ මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසි ගායක ගායිකාවන් රාශියක් විය. ඔවුහු එකිනෙකා ඔවුන්ටම ආවේණික ගමන් මාර්ගයන් සොයා ගනිමින් මෙරට ගී කෙත පෝෂණය කරවීම උදෙසා විවිධ නිර්මාණකරණයේ නියුතු වුවෝ වෙති. මේ අතර සිහින් සිරුරකින් යුතු ආකර්ෂණීය හඬක් හිමි නවක ගායකයකු ක්ෂේත්‍රයට පිවිසියේය. ඔහු අන් අය අතරින් වෙන් කොට හඳුනා ගැනීමේ සුවිශේෂීත්වය වුයේ ඔහු සතු වූ නැවුම් හඬ පෞරුෂයයි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට මින් මතුත් නැවුම් හඬවල් දායාද කළ ජාතික තරුණ සේවා සභාව මඟින් මේ හඬ ද මෙරට ජනගත වූයේය. මේ අන් කවරකුවත් නොව ප්‍රවීණ, ජනපි‍්‍රය ගායන ශිල්පී චන්දන ලියනාරච්චිය.
 

චන්දන පාසල් වියේ සිටම සංගීතයට පෙම්බැඳි තරුණයෙකු වුවත්, ඔහු සතු දක්ෂතා හැකියාවන් සේම ශාස්තී‍්‍රය වශයෙන් සංගීත ඥානය ලබා දී පුහුණුවීම් හා අභ්‍යාසවලින් ඔහුගේ දක්ෂතා ඔප මට්ටම් කරනු ලැබුවේ ජාතික තරුණසේවා සභාවය. එකල බොහෝ ආධුනික ගායන ශිල්පීන්ට තෝතැන්නක් වූ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් ක්ෂේත්‍රයට පැමිණි චන්දන එදා ඔහු ගොඩනඟාගත් ආවේණික ගායන ශෛලියෙන්ම මෙදා ද සිය ජනපි‍්‍රයත්වය නොඅඩුව රැකගන්නට සමත් වූ ගායන ශිල්පියෙකි.

අපේ සංගීත ක්ෂේත්‍රයේ වත්මන් රැල්ල සමඟ ද තරඟ කරමින්, තමන් මෙතෙක් රැකගෙනනන ආ ප්‍රතිපත්ති සහ අනන්‍යතාවයෙන් සිඳී බිඳී යා නොඳී අදටත් නිර්මාණකරණයේ යෙදෙන ඔහු පිළිගන්නට මෙරට රසික ප්‍රජාව තවමත් සුදානම් වනුයේ ඔහුගේ ගායන ශෛලියේ ඇති රස භාවයන් ඔවුන් හොඳින් හඳුනන නිසාය.

“අපි රටක් විදියට සුවිශාල අසීරුතා රාශියකට පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ රටට පමණක් නොව, මුළු මහත් ලෝක වාසී ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වුණු දෙයක් ඒක. ඉතින් කලාකරුවෙක් විදියට ඔය තත්ත්වය පොදුවේ මටත් බලපෑවා. විදේශ සංචාර, අපේ රටේ පැවති සංදර්ශන සියල්ල නැතිවුණා. ආර්ථික වශයෙන් මේක පාඩුවක් තමයි. නමුත් කාලයක් තිස්සේ ආර්ථික කළමණාකරණයකින් යුතුව ජීවත් වුණ නිසා ලොකු අසීරුතාවලට මුහුණ දෙන්න තවම සිද්ධ වුණේ නෑ. හැබැයි ගෙවුණු කාලය අපි හැමෝටම අලුතින් ජීවිතය ගැන පතන්න, අපේ ජීවිතයට අලුත් පාඩම් එක්කරපු කාලයක් වුණා. අපි ගෙවල්වල හුදකලා වුණාට නිර්මාණ සැලසුම් කර ගන්න. ඉඳහිට රොකෝඩින් එකක් කරගන්න අපට විවේක තිබුණා. ජීවිතය කළමනාකරණය කර ගන්න අපි තුළම සැලසුම් තිබිය යුතුයි කියන පාඩම අපි හොඳට ඉගෙන ගත්තා.

කොරෝනා කාලය යම්තාක් දුරකට සමනය වීමෙන් පස්සේ අලුත් නිර්මාණ කිහිපයක් කළා. අපේ සංගීත ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් නිර්මාණ ශිල්පියෝ බිහිවෙනවා. දක්ෂතා රාශියක් ඇති පුද්ගලයෝ මේ නවක නිර්මාණශිල්පියෝ අතර ඉන්නවා. ඒ වගේ නව පරපුරේ ගීත රචකයන් සහ ගී තනු නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් එක්ක පසුගිය කාලයේ අලුත් නිර්මාණ කිහිපයක් කළා.”

ගායකයකුගේ ජීවය රඳා පවතිනුයේ ඔහු විසින් ක්ෂේත්‍රයට මුදා හරිනු ලබන නිර්මාණ ගොන්නේ බලයෙනි. චන්දන ද එවැන්නෙකි. චන්දන ක්ෂේත්‍රයට පැමිණි දා පටන්ම දායාද කළ නිර්මාණ සියල්ලම මෙරට පේ‍්‍රක්ෂකයෝ ආදරයෙන් වැලඳ ගත් බව කාටත් නොරහසකි.

“පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම්

සුළඟේ පාවී සිතට දැනේ

පිටගම් යන දා එය සිහිවෙනවා

හීන් සැරේ ඔබ මා අමතක කර දා...

මේ චන්දන ක්ෂේත්‍රයට පැමිණි මුල් යුගයේදීම ගායනා කළ ගීතයකි. මේ ගීතය මෙන්ම ‘ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ’ යන ගීතයත් සමඟම චන්දන ගේ නැවුම් හඬ මෙරට සංගීත ක්ෂේත්‍රයේ කාගේත් කතා බහට ලක්වන්නක් විය.

“ඇත්තටම මගේ සංගීත දිවිය පටන් ගන්නේ මගේ පාසල් අවදියේදිමය. ඒ කාලේ මම ආස කරපු ආදරේ කරපු ගායක ගායිකාවෝ, සංගීත ශිල්පීන් හිටියා. පණ්ඩිත් අමරදේව, ෂෙල්ටන් පෙරේරා, සෝමතිලක ජයමහ, හරුන් ලන්ද්‍රා, ටී.එම්.ජයරත්න, සුනිල් එදිරිසිංහ වැනි ශිල්පීන්ට මම බෙහෙවින් ඇලුම් කළා. ඔවුන්ගේ ගායන ශෛලින් ගැන මම විශේෂයෙන් අවධානය යොමු කළා. විශේෂයෙන් ෂෙල්ටන් පෙරේරා, හරුන් ලන්ත්‍රා වැන්නන් තුළ තිබුණු ශාස්ත්‍රීය පදනමේ ගායන ශෛලියට මම හුඟාක් කැමැති වුණා. ඒ ගීත මම නිතරම ඇහුවා. රසවින්දා. මගේ සංගීත රසකාමී බව. පෝෂණය වෙන්නේ ඒ වගේ තැනකින්. එහෙම වැඩුණු මගේ රස භාවයන් තව තවත් උද්දීපනය වෙන්නේ මම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ආවට පස්සේ. එතැනදී මම ශාස්ත්‍රීය සංගීතය හදාරන්න ගන්නවා. නිතරම පුහුණුවීම්වල යෙදෙනවා. මේ සියල්ල එක්ක මෙය මම මටම ආවේණික ගායන ශෛලියත් ගොඩ නඟා ගන්නේ. බෙල්වුඩ් සෞන්දර්ය ඩිප්ලෝමා එක ගත්තට පස්සේ මට මතකයි ඔවුන් නිර්මාණය කළ යොවුන් ගී 43 වැනි කැසට් පටයට සින්දුවක් කියන්න අවස්ථාව උදාවෙනවා. ඇත්තටම මේ සියල්ල සිදුවෙන්නේ බෙල්වුඩ් එකේ මගේ ගුරුවරයා නිහාල් ගම්හේවා සර් නිසයි. මේ මඟ පෙන්වීම, උදව්ව නොවෙන්න සමහරවිට මගේ ගමන වෙනස් වෙන්න තිබුණා. නමුත් මට උරුම මේ ගමනට මාව දෛවය රැගෙන ගියා.”

එදා බෙල්වුඩ් එකට ඇතුළත් වුණු ඒ තරුණයා රටේ මේ තරම් ජනපි‍්‍රය ගායකයකු වෙයි කියලා ඔහුවත් හිතන්න නැතුව ඇති. නමුත් කෙනෙකුගේ දෛවයේ ලියැවී ඇති දේ වෙනස් කරන්නට කිසිවෙකුටත් නොහැකිය යන්න සනාථ කරමින් අද ඔහු මේ රටේ ජනපි‍්‍රය ගායකයකු බවට පත් වී ඇත.

“මුලින්ම කරපු කැසට් දෙකට ගීත ලියලා සංගීතවත් කළේ නිහාල් ගම්හේවා සර්. පොල් රුප්පාවේ, සිත පරව ගියා, ඇහැළ මල් පිපෙනා වැනි ගීත තිබුණේ ඒකේ. තුන්වැනි නිර්මාණ එකතුව එනකොට රෝහණ වීරසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, යමුනා මාලිනි පෙරේරා වැන්නගේ සහායත් මට ලැබුණා.

“පේ‍්‍රමය ලොව හැම තැනම ඇති

හැමදෙනටම හමුවෙලා ඇති

එනමුදු පේ‍්‍රමය කිමැයි කියා

හඳුනාගත් කිසි කෙනෙකු නැති වැනි ගීතත් කවි සීපද ඇහෙන රෑක - කුරහන් මල් පිපෙන් රෑට - සඳට ආදරෙයි කියලා, සඳ හාදු දිදි වලාකුළට, පමා වැඩී ඔබ පමා වැඩී, සුවඳ මට දී ඇතුළු ගීත ගණනාවක් දැන් ඔහුගේ ගායන ලැයිස්තුවේ ඇත. මේ ගීත බහුතරයට පදනම් වුයේ ආදරය හා පේ‍්‍රමය මූලික කරගත් සංකල්පනාවන්ය. චන්දන ගේ ආදරණීය හඬත්, ගී පදරුත්වල ඇති ආදරණීය බවත් සේම තනු නිර්මාණයේ අපූර්වත්වයන් එක්තැන් වූ කල මේ ගීත සියල්ලම මෙරට තාරුණ්‍යයේ පද රැඳී ගීත බවට පත්වුයේ නිරායාසයෙන්මය. එදා 90 දශකයේ ගීත ශ්‍රාවකයන් අතර චන්දන හදගත් ගායකයා වූවා සේම, මෙදා පවතින වාතාවරණය තුළ සිය ගීතයේ ආකෘතිමය වෙනසකට යමින් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන වත්මන් පරපුරේ රුචිකත්වයට අනුව ගීත ගයන්නට ද චන්දන දරන උත්සාහය කිසිවිටෙකත් නිරර්ථක නොවනු ඇත. මෑත කාලයේ ඔහු ගායනා කරන ලද මේ ගීතය ඊට නිදසුනකි.

‘සඳ කුමාරි මගේ මනාලි

තරු වරල උනා දමාවි

රෑ කවුළු දොරින් එබේවි

මට එන්න කියා කියාවි...

‘වර්තමානය වෙනකොට තාක්ෂණය පැත්තෙන්, සංගීත සංයෝජනය පැත්තෙන් සංගීත ක්ෂේත්‍රය ලොකු වෙනසකට බඳුන්වෙලා තියෙනවා. ඉතින් මගේ අනන්‍යතාවය රැකගෙන ඊට අනුගත වෙන්නත් මම කල්පනා කරනවා. ඉස්සරහට අනුරාධ අබේසිංහ වැනි තරුණ නිර්මාණකරුවොත් සමඟ නිර්මාණාකරණයේ යෙදෙන්න බලා පොරොත්තු වෙනවා. කොහොම වුණත් මේ දක්වා මගේ ජනපි‍්‍රයත්වය නොසිඳී පැවතුණේ මගේ නිර්මාණවල තිබෙන සාර්ථකත්වය නිසා කියලයි මට හිතෙන්නේ. තාමත් ඒ ගුණාත්මක බව පවත්වාගෙන යෑමට මෙය මගේ උත්සාහය, ඒ වගේම තමයි කෙනෙක් මීට අවුරුදු 20ට කලින් ගයපු ගීතයන් ඒ විදියටම ඒ ගුණාත්මක බවින්ම දැන් ගායනා කරන්න පුළුවන් නම් ඒකත් ඒ ජනපි‍්‍රයත්වයම හේතුවක්.

මම දැන හඳුනාගත් පරිදි ජීවිතය සහ කලාව කියන්නේ දෙකකුත් නොවෙයි. එකකුත් නොවෙයි. කලාව තුළ කලාත්මක හැඩතල හඳුනාගෙන, පවුල් ජීවිතය තුළ ඒ හැඩතල හඳුනාගෙන ජීවත් වෙනව නම් පැහැදිලිව ලොකු දුරක් අපිට යන්න පුළුවන්. මගේ කලා ජීවිතේ මුල් කාලෙදි මගේ අම්මා තාත්තාගෙන් ලැබුණු සහයෝගය වගේම දැන් මගේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය මට විශාල ශක්තියක්. ඇය තමයි මගේ හොඳම රසිකාව සහ විචාරිකාව වන්නේ.

මම ඉස්සර ඉඳන්ම මගේ ගමේ ජීවිතයට කැමැති වුණ කෙනෙක්. ඒක මට හරි නිදහස්. ඒ වගේම මගේ අම්ම බලාගන්න ඕන මම. ඒ නිසා මම කොළඹ ජීවිතයට ඇලුම් කරපු කෙනෙක් නොවේ. මේ ගැමි ජීවිතය තුළ බොහොම නිදහසේ මම ජීවත් වෙනවා.

පිටපත: හේමාලි විජේරත්න

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4