හෙට අප සිටියත් නැතත් මේ ආදරණීය මතක රැඳෙනු ඇත.K K

 හෙට අප සිටියත් නැතත් මේ ආදරණීය මතක රැඳෙනු ඇත.

ක්‍රිෂ්ණකුමාර් කුන්නත් නම් වූ ඔහු ජනප්‍රිය වූයේ KK නමිනි. ඔහුගේ මධුර කටහඬින් ගැයූ ප්‍රේම ගීත ලොව පුරා බොලිවුඩ් රසික හදවත් ආදරයෙන් ස්පර්ශ කරන්නට සමත් විය. උපතින් මලයාලි ජාතිකයෙකු වුවද, කිසිදිනෙක සංගීතය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා නොතිබුණද, KK තමා නොදන්නා භාෂාවන් වූ දෙමළ, තෙළිඟු, කන්නඩ, මරාති, බෙංගාලි සහ ගුජරාටි වැනි භාෂාවලින් ද ගීත ගායනා කිරීමෙන් වැළකී සිටියේ නැත. ඔහු විශාල රසික ප්‍රජාවක උරුමය ලැබීමේ රහස එය විය. බොහෝ දෙනා ඔහුගේ මධුර ගී හඬ හැඳීන්වූයේ "ආදරයේ හඬ" ලෙසිනි.

මලයාලි දෙමාපියන්ට දාව 1968 අගෝස්තු 23 වැනිදා දිල්ලියේදී උපන් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හැදී වැඩුණේ නවදිල්ලියේ ය. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔහු දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. වාණිජ අංශයෙන් උපාධිය ලැබීමෙන් පසු KK අලෙවිකරණ විධායක නිලධාරියෙකු ලෙස මාස හයක් කෙටි කාලයක් රැකියාවේ විය. සංගීතයට ඇති ආශාව ඔහුගේ ජීවිතයේ ඉදිරි ගමන වෙනස් කරවීමට සමත් විය. ආරම්භයේදී එය එතරම් සුවබර එකක් නොවීය. ඔහු මුලදී එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට හෝටල්වලට ගොස් ගීත ගායනා කිරීම පටන් ගත්තේය. වසර කිහිපයකට පසු ඔහු මුම්බායි වෙත පැමිණියේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් පියවර තබමිනි.

KK සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වෙළෙඳ දැන්වීම් සඳහා ජිංගල්ස් ගායනා කිරීමෙනි. ඔහු තම පළමු ඇල්බමය 'පල්' නමින් එළිදැක්වූයේ 1999 දීය. සෝනි මියුසික් විසින් නව ගායකයෙකු සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස KK හට මෙම අවස්ථාව හිමි විය. එහි "ප්‍යාර් කි පල්" සහ "යාරොන්" ගීත ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් විය. ඔහු බොලිවුඩයට පිවිසියේ 'හම් දිල් ද චුකේ සනම්' (1999) චිත්‍රපටයේ "තඩප් තඩප් කේ ඉස් දිල් සේ" ගීතය ගයමිනි. මෙම ගීතය ඔහුගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ අතර ඔහු හට බොලිවුඩයේ දක්ෂ ගායකයින් අතර ඉහළට පැමිණීමට වැඩි කාලයක් ගත නොවීය. "ඩොලා රේ ඩෝලා" (දේව්දාස්-2002), "ක්‍යා මුජේ ප්‍යාර් හේ" (වෝ ලම්හේ), "ආන්කොන් මේන් තේරි" (ඕම් ශාන්ති ඕම්), "කුධා ජානේ" (බච්නා ඒ හසීනෝ), "පියා ආයේ නා" (ආශික් 2), "තූ ජෝ මිලා" (බජ්රන්ගි භයිජාන්) ඔහු ගැයු ජනප්‍රිය ගීත අතර වේ.

KK හොඳම ගායකයා වෙනුවෙන් වූ ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක් සඳහා නිර්දේශ නාම ලැබුවද ඒ එකදු සම්මානයක්වක් ඔහු හට හිමි නොවීය. 2004 දී ඔහු ගැයු "අප්පඩි පෝඩු" දෙමළ ගීතය ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් විය. වසර අටක විරාමයකට පසු KK ඔහුගේ දෙවැනි ගීත ඇල්බමය 'හම්සෆර්' නිකුත් කළේ 2008 වසරේදීය.

බොහොමයක් ඉන්දීය නළුවන් හට තම රංගනය වෙනුවෙන් අනන්‍ය වූ ගායකයෙකු සිටියේය. මේ අතර KK ගේ විශේෂත්වය වන්නේ විවිධ නළුවන්ගේ රංගනයන් වෙනුවෙන් ගීත ගායනා කිරීමයි. දශක 3ක පමණ දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ KK හින්දි ගීත 500කට වැඩි ප්‍රමාණයක් සහ තෙළිඟු, බෙංගාලි, කන්නඩ භාෂාවලින් ගීත 200කට වඩා ගායනා කිරීමට සමත් වූයේය. මලයාලි පවුලක උපත ලැබූ නමුත් සිය වෘත්තීය ජීවිතය තුළ KK ගායනා කර තිබෙන්නේ එක් මලයාලම් ගීතයක් පමණි.

KK 1991 දී විවාහ දිවියට පත් වූයේ යොවුන් වියේ පෙම්වතිය වූ ජ්‍යෝති ක්‍රිෂ්ණා සමඟිනි. ඔහුගේ කැදැල්ලේ නකුල් සහ තමාරා නමින් පුතෙකු සහ දියණියක වේ. චමත්කාරජනක ආදර ගීත මෙන්ම වේග රිද්ම ගීත ද ගායනා කළ KK ලොව පුරා මිලියන ගණනක රසික හදවත් තුළ සදාකාලික ආදරය දිනූ ගායකයෙකු බවට පත් වී සිටියද පසුගියදා දැන ගන්නට ලැබුණේ ඔහු සදහටම මෙලොවින් සමු ගෙන ගිය පුවතයි. පසුගිය මැයි 31 වැනිදා ඔහු අවසන් හුස්ම හෙළූයේ දකුණු කල්කටාවේ නස්රුල් මන්චා ශ්‍රවණාගාරයේ ගුරුදාස් විද්‍යාලයේ සජීවී සංගීත ප්‍රසංගයකින් අනතුරුවය. ප්‍රසංගයට සහභාගි වී ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට යන අතරමගදී ඔහුට හෘදයාබාධයක් ඇති විය. වහාම රෝහල් ගත කළද ඒ වන විටත් ඔහු මෙලොවින් සමු ගෙන ගොස් අවසන්ය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53 කි. මිය යාමට දින කිහිපයකට පෙර උරහිසේ සහ අතේ වේදනාවක් පිළිබඳව බිරිඳට දන්වා ඇති බවද වාර්තා වේ. කෙසේ නමුත් පසුගිය ජූනි 01 වැනිදා කල්කටා පොලිසිය මෙම මරණය විමර්ශනය කිරීම වෙනුවෙන් අස්වාභාවික මරණයක් පිළිබඳ නඩුවක් ලියාපදිංචි කළේය.

KK සහභාගි වූ ඔහුගේ අවසන් ප්‍රසංගය අවසානයේ ගායනා කළේ ඔහුගේ පළමු ගීත ඇල්බමයට ඇතුළත් වූ "ප්‍යාර් කි පල්" ගීතයයි.

"හෙට අප සිටියත් නැතත් මේ ආදරණීය මතක රැඳෙනු ඇත.අපට හෙටත් ලැබුණොත් අපි වාසනාවන්ත වෙමු. එසේ නොවුණද මේ ආදරණීය මතක සැමදා සිහිපත් වේවි"

එහි සරල අරුතයි.

 

 

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4